හැටන් නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායට කිසියම් පිරිසක් ගෙනවිත් මුදාහැර ඇති රිලා රංචුවක් හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව එම වතුයායේ වතු කම්කරුවන් පවසයි.
රිලවුන් තිහක් පමණ සිටින රංචුවක් තම නිවාස තුළට පැමිණ නිවසේ තිබෙන සියලු ම ආහාර ද්‍රව්‍ය රැගෙන යන බවත්, අනුභව කිරීමට පිළියෙළ කර තිබෙන ආහාර ද රිලවුන් විසින් කා දමන බවත් වතු කම්කරුවන් කියා සිටිති.
තමන්ට දෛනිකව ලබා ගන්නා සුළු වැටුප ජිවත් විමට ප්‍රමාණවත් නොවන නිසා අමතර ආදායමක් ලබා ගැනිම සදහා නිවාස අසල එළවළු වගාවක් සිදු කරන අතර, එම එළවළු වගාවට රිලවුන් විසින් හානි සිදු කිරිම හේතුවෙන් එළවළු වගාව සිදු කිරිමද තමන් මේ වන විට අතහැර දමා ඇති බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
කොස් ගස්වල ඵලදාව සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවත්, කෙසෙල්, අලිගැටපේර, ලාවුලු ඇතුළු පළතුරු ඵලදාව ද සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවත්, පවත්නා තත්ත්වය මත තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව එම වතුයායේ වතු කම්කරුවන් පැවසිය.
තම දරුවන්ගේ අතැති ආහාර රිලවුන් පැමිණ උදුරාගෙන යන බවත්, ගෙවල් දොරවල් වසා තිබියදි වාහල මතින් නිවස තුළට පිවිස ආහාර සොයා නිවස සම්පුර්ණයෙන්ම විනාශ කර බවද වතු කම්කරුවන් පැවසිය.
රිලවුන් නිසා තම ජිවන උපායට මෙන්ම තම දරුවන්ගේද ජිවිත වලට දැඩි අවධානමක් පවතින නිසා එම සතුන් අල්ලා වෙනත් සුදුසු පරිසරයකට මුදා හරින ලෙස වතු කම්කරුවන්ගේ අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.