උතුරේ හමුදා කඳවුරු සඳහා පවරාගත් ජනතා ඉඩම් වහාම නිදහස් කරන්න… ජනපතිගෙන් බලධාරීන්ට නියෝග….!

August 21, 2026 at 10:05 am | by emanisa.lk

උතුරු නැගෙනහිර යුද සමයේ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා පවරාගත් ජනතාවගේ පෞද්ගලික ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක බලධාරීන් වෙත නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කර ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවට එක්වීමි.

ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බව මෙහිදී පෙන්වා දුන් අතර, ඒ මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවාද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් පිළිබඳ කඩිනම් අවසන් තීරණයකට එළැඹීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නෙමි.

අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන් අතර, එසේ ලබා දෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළක අවශ්‍යතාවද පෙන්වා දුන්නෙමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස