සති අන්තයේදීත් බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදුන් සහතිකය ව්‍යාජ එකක් වී ඇති බවට ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති.
ඊයේ සවස් කාලයේ ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ අද (21) දිනයේත් සුපුරුදු පරිදි බෙදාහැරීම් සිදුකරන බව වුවද, මේ වන විට තොග නිකුත් කිරීම මුළුමනින්ම අත්හිටුවා ඇති බව ඔවුහු අවධාරණය කරති.
ඉන්ධන ලබාගැනීමේ අරමුණින් අද පෙරවරුවේ දිවයින පුරා පිහිටි පර්යන්ත වෙත පිටත් කළ බවුසර් රථවලට තොග ලබා නොදී හරවා එවා ඇත. පිරවුම්හල්වල පවතින තොග අවසන් වෙමින් පවතින බැවින්, පෝලිම්වල සිටින ජනතාවගේ දෝෂාරෝපණයට සහ අපහසුතාවට තමන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුහු පවසති.
සංස්ථාව මාධ්‍ය මගින් පවසන දේ සහ ප්‍රායෝගිකව පර්යන්ත තුළ සිදුවන දේ අතර පවතින පරස්පරතාව හේතුවෙන් සමස්ත බෙදාහැරීමේ ක්‍රියාවලියම අවුල් වී ඇති බවට ඔවුහු චෝදනා කරති.
මෙම අර්බුදය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයින පුරා පිරවුම්හල් රැසක ඉන්ධන තොග සම්පූර්ණයෙන්ම අවසන් වීමේ අවදානමක් පවතින බවද පිරවුම්හල් හිමියන් වැඩිදුරටත් අනතුරු හඟවයි.
මේ අතර ආණ්ඩුව ඉදිරි දින කිහිපය තුළ නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම් වන බවත් එහි වාසිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාගැනීමේ අරමුණින් මෙලෙස තෙල් බෙදාහැරීම නවතා ඇති බවටද ඇතැම් පාර්ශ්ව චෝදනා කරති.