ඉන්ධන මිල අඩු කළොත් වන්දි ගෙවන්න වෙන කතා බොරු… ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි…! – පාඨලී…

December 3, 2024 at 8:11 pm | by emanisa.lk

තෙල් මිල අඩු කළ නොහැකි නම් ආණ්ඩුව ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව හිටපු අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“මැතිවරණ වේදිකාවේදී අපිට ඇහුණේ මේවා අඩු කරන්න පුළුවන් කියන කතාව. හිටපු විදුලිබල හා බලශක්ති ඇමති හැටියටත්, 2015 දී අපි ජනතාව ඉදිරියේ පොරොන්දුවක් දුන්නා. අපි අඩු කරලා පෙන්නුවා. ඒ අඩු කරලත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ උපයන තැනක් බවට, ඒ වගේම මූල්‍යමය වශයෙන් ශක්තිමත් තැනක් බවට ඊළඟ අවුරුදුවල අපි පත් කළා.

දැන් මොකක්ද තෙල්වල තත්ත්වය? අපි කවුරුත් දන්නවා තෙල් මිල සැදෙන්නේ යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් මගින්. ලංකාවට තෙල් අපි ටෙන්ඩර් පටිපාටියක් මත ගෙන්වනවා. අපි බොරතෙල් ගෙන්නලා සපුගස්කන්දේ පිරිපහදු කරනවා. දැනට ඒ කටයුත්ත හුඟක් අඩපණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කෙලින්ම ඩීසල්, පෙට්‍රල් මිලදී ගන්නවා. අයි.ඕ.සී. එකත්, සිනොපෙක් එකත් ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ.

එතකොට එහෙම ගේන පෙට්‍රල්, ඩීසල් වලට යම් ප්‍රිමියම් එකක් එනවා. ඒක වෙළඳපොළේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඊට පස්සේ අපි කවුරුත් දන්නවා වරායට ගොඩබැහුවට පස්සේ අපිට තියෙනවා, එහෙම නැත්නම් CIF එක. CIF කියන්නේ Cost, Insurance and Freight. අන්න ඒ අගය ආවට පස්සේ, ඒ අගයට බදු එනවා ආණ්ඩුවෙන්. සැප්තැම්බර් මාසේ මිල ගණන් ගැන බැලුවහම සාමාන්‍යයක් හැටියට මම මේ කියන්නේ. සිපෙට්කෝ එක එක ගානකට ගෙනල්ලා තියෙනවා.

නමුත් බදු අය කරලා තියෙනවා පෙට්‍රල්වලින් රුපියල් 110-117 ත් අතර මේ සමාගම් තුනෙන්ම රජය. ඒ වගේම බදු අය කරලා තියෙනවා ඩීසල්වලින් රුපියල් 88 -94 ත් අතරේ මේ සමාගම් තුනෙන් වෙන් වෙන් වශයෙන්. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 115 ක් පමණ පෙට්‍රල්වලිනුත්, රුපියල් 90 ක් පමණ ඩීසල්වලිනුත් බදු අය කරනවා. දැන් එතකොට මේ ගාන අඩු කළහම සමාගම්වලට ගෙවන්න තියෙනවා කියන්නේ මොකක්ද?”

රණවක මහතා මේ බව පැවසුවේ අද (03)‘විදුලි බිල සහ තෙල් මිලට කුමක් කරමුද’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *