ඉන්ධන අර්බුදය බාල ගල් අඟුරු නිසායි… නොරෙච්චෝලේ අඩුව පුරවන්නේ ඩීසල්වලින්.. අද ආ තෙල් නැවෙනුත් 80%ක් විදුලි නිෂ්පාදනයට..! – ඩී.වී. චානක…

March 16, 2026 at 10:10 pm | by emanisa.lk

විදුලි නිෂ්පාදනය සඳහා රටට බාල ගල් අඟුරු ගෙන ආවේ නැත්නම් ජනතාවට මීට වඩා ඉන්ධන කෝටාවක් දිය හැකිව තිබූ බව හිටපු බලශක්ති නි. අමාත්‍ය ඩී.වී. චානක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බාල ගල් අඟුරු නිසා නොරෙච්චෝලේ විදුලි නිෂ්පාදනය පහත වැටී ඇති බවත් එම අඩුව සපුරාලීමට වැඩිපුර ඩීසල් ලීටර ලක්ෂ 140ක් වැයවන බවයි.

මේ මාසය සඳහා සිපෙට්කො ආයතනයට ලැබෙන්නේ එක තෙල් නැවක් බවත් සෙසු තෙල් නැව් තුන පෞද්ගලික සමාගම් තුන ඇනවුම් කළ නැව් බවත් ඩී.වී. චානක ප්‍රකාශ කරයි. අප්‍රේල් මාසය සඳහා මෙතෙක් කිසිදු නැවක් පැමිණීම තහවුරු කර නැති බවටද ඔහු අනතුරු අඟවයි.

රටට පැමිණෙන ඩීසල් නැවකින් අඩක් පමණ විදුලි නිෂ්පාදනයට වැය වන බවද එයට හේතුව බාල ගල් අඟුරු නිසා නොරෙච්චෝලේ විදුලි නිෂ්පාදන මෙ.වො. 150කින් පමණ අඩුවීම බවද හිටපු බලශක්ති නි. ඇමතිවරයා සඳහන් කරයි.

රටට අඛණ්ඩව විදුලිය ලබාදීමට දවසේ පැය 20ක් නොරෙච්චෝලේ බලාගාරයෙන් මෙ.වො. 810ක් පද්ධතියට අවශ්‍ය බවත් බාල ගල් අඟුරු නිසා අඩුවන මෙ.වො. 150 උත්පාදනය සඳහා මහජන උපයෝගීතා කොමිසම පවසන පරිදි සතියකට ඩීසල් ලක්ෂ 35ක් දහනය කරන බවත් ඔහු අනාවරණය කරයි.

ඒ අනුව අද පැමිණි RM park ඩීසල් නෞකාවෙන් 80%ක් විදුලි නිෂ්පාදනය සඳහා වැයවන බවද ඩී.වී. චානක ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *