මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් පෙරේදා (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සංවිධානය කළ ආර්ථික සමුළුව අමතමිනි.
“මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙස අපි සලකනවා. එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇති.
පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැයවීම සිදු වුණේ නැහැ. 75%ක්-80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා. ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ අපි පසුගියදා දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා.
සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බව එහිදී අනාවරණ වුණා. එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබාගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වෙනවා.
සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට කැඳවා ගැනීමට අපේක්ෂා කරනවා.
විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගත හැකියි. මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජුලි මාසය වන විට නැගෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකියි. අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.
එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා. ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවකින් වැඩ කර නැහැ. එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කර තිබෙනවා. නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේදී දේශපාලන අධිකාරිය ලබා දුන් තීන්දු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිවිරෝධයක් මතු වුණා. රාජ්‍ය යාන්ත්‍රණය හැමදාම සිතුවේ දේශපාලන අධිකාරිය සඟවා ගත් දෙයක් ක්‍රියාත්මක කිරීමට යනවා කියලා. නමුත් මේ වනවිට දේශපාලන අධිකාරියේ සැඟවුණු අරමුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙනවා. ඒනිසා රාජ්‍ය යාන්ත්‍රණය අපට සහයෝගය ලබා දෙයි කියා විශ්වාස කරනවා. මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි.
නිශ්චිත කාලයට තීන්දු තීරණ නොගත් විට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඩිජිටල්කරණය කිරීම තුළින් පහසුව, කාර්යක්ෂමතාව පමණක් නොව රට තිබෙන තැනින් නව තලයකට ඔසවා තැබීමටද හැකියාව තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය අනිවාර්යෙන්ම කළ යුතුයි. ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.
මෙරට ආර්ථිකයේ අපනයන ආදායමෙන් 90%ක් ලබා දෙන්නේ ආයතන කිහිපයක් පමණයි. රේගු ආදායමෙන් 69%ක් ලබාදෙන්නේ ෆයිල් 621යි. ඒ වගේම බස්නාහිර පළාත ජාතික ආර්ථිකයට 37%ක් දායක වන විට ඌව පළාත ජාතික ආර්ථිකයට දායක වෙන්නේ 5%ක් පමණයි. ආර්ථිකය කුඩා කණ්ඩායම් අත පමණක් තැබීමෙන් ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැහැ.
අස්වැසුම මිලියන 1.8 ප්‍රතිලාභ ලබා දෙනවා. නමුත් තවත් ලැබිය යුතු කණ්ඩායම් සිටිනවා. ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම සඳහා නව ආර්ථික අවස්ථා ඇති කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ නව ආර්ථික ප්‍රභවයන්, අවස්ථාවන් ගමට හඳුන්වාදීමයි. එසේ සිදුවීමේදී ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යනවා. ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩිවීම තුළින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ හැකියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක තුළ හිඳිමින් ආධාර අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. මූල්‍ය උත්තේජනයක් ඇති කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. මෙරට තිබූ සහනාධාර ක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනීකරණය වෙලා තිබුණේ. එය අපි නවතා දමනවා. නිශ්චිතවම සහනාධාර ලැබිය යුතු කෙනාට ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා.
වෙළඳපොළ නිදහස් බව පැවසුවත් ලෝකයේ වෙළඳ පොළ නිදහස් නැහැ. ලෝක වෙළඳපොළ බෙදා වෙන් වී තිබෙනවා. ඒ බෙදා වෙන් වී තිබෙන වෙළඳපොළෙන් අපේ පංගුව අත්පත් කරගන්න රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපට ආසන්නම වෙළඳපොළ තිබෙන ඉන්දියාව සමග ලෝක වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමට අප අධ්‍යයනය කරමින් සිටිනවා. මීට පෙර ඉන්දියාව සමග තිබූ වෙළඳ ගිවිසුම අධ්‍යයනය කරමින් එහි වාසි අවාසි පිළිබඳ සැලකිල්ලට ගෙන නව වෙළඳ ගිවිසුමක් ඔස්සේ ලෝක වෙළඳපොළේ පංගුව අත්පත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.
රට හදන්න අපි සියලු දෙනා එකතු වෙමු. රාජ්‍ය සේවය ලබාදීම සඳහා විශාල වැය බරක් දැරීමට සිදුවෙනවා. රාජ්‍ය සේවයේ මිලියන 1.3ක් ඉන්නවා. රාජ්‍ය සේවයේ පහළ ස්ථරය අතිරික්තයක් වුවත් මැද ස්ථරයේ විශාල සේවක හිඟයක් තිබෙනවා. මේ සඳහා විභාගයක් පැවැත්වුවහොත් පෞද්ගලික අංශයේ රැකියා කරන අය පවා පැමිණෙනවා. පෞද්ගලික අංශයේ ආකර්ෂණය නොවන රාජ්‍ය අංශයේ ආකර්ෂණය වන රාජ්‍ය සේවාවක් අපේ රටේ තිබෙන්නේ. එම නිසා පෞද්ගලික අංශයත් ආකර්ෂණීය සේවා කරන ස්ථානයක් බවට සංවාදයක් ඇති කළ යුතුයි.
1991 වසරේදී වතු රජය සමාගම්වලට ලබාදුන්නා. නමුත් වසර තිස් දෙකක් ගියත් වතු සේවකයෙකුට දෛනික රුපියල් 1700ක් ලබාදීමට සමත්ව නැහැ. එවිට එම සමාගම් සාර්ථකද නැද්ද කියා සිතා බැලිය යුතුයි. ඊයේ රේගුවේදී නීති විරෝධීව ගෙනා බහලුම් විවෘත කළ බැලුවා. එවා ගෙන්වීම් කළ කෙනෙක් හිටියේ නැහැ. නමුත් එම බහලුම් විවෘත කළ බැලූ විට ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබුණා. එම නිසා ජනතාව ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. දේශපාලන අධිකාරියේ ගුණාංග අප ගෙනවිත් තිබෙනවා. නමුත් ඔබ තුළ පරිවර්තනය වෙනසක් ඇති නොකර රටක් හැටියට ඉදිරියට යන්න බැහැ.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව යන මහත්වරු සහ වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.