හය වසර සිසුන් සඳහා ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඉතිහාස පොතෙහි මෙරට ඉතිහාසය ඉතාම සූක්ෂ්ම ලෙස විකෘතිකර ඊළාම්වාදය තහවුරු කිරීමට පදනම දමා ඇතැයි ජාතික නිදහස්පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම කෘතියෙහි සංකිළි රාජ මාළිගය, සීගිරිය අනුරාධපුරය ගොඩනැඟූ පැරණි යුගයට එකතු කර ඇති බවයි.
දෙවෙනි සංකිළි රජු යාපනය පාලනය කළේ ක්‍රි.ව. 1617-1619 අතර බවත් මෙම විකෘතිකරණයෙහි අරමුණ ලංකාවේ අනුරාධපුර යුගයේ සිටම මෙරට දෙමළ ඉතිහාසයක් පැවති බවට වැරදි ඉතිහාසයක් ගොඩනැගීම බවත් විමල් වීරවංශ අවධාරණය කරයි.
මේ සියල්ල අහඹු සිදුවීම් නොවන බවත් ඉතිහාසයට පහර දෙමින් ඉතිහාසය ඔළුවෙන් සිටුවමින් තමන්ට අභිමත පරිදි නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ඔහු සඳහන් කරයි.
ඉතිහාසය විකෘති කිරීම, බුද්ධ චීවරය හෑල්ලු කිරීම, මාර්ටින් වික්‍රමසිංහ හෑල්ලු කිරීම, රාජ්‍ය පාලන ධූරාවලිය හෑල්ලු කිරීම ඔස්සේ රටේ සංස්කෘතික වටිනාකම් පද්ධතිය කෙළෙසන බවත් අනතුරුව ඉතිරිවන්නේ ආණ්ඩුවේ සාහිත්‍ය උත්සවයක දේශනයක් සඳහා ගිය රත්න ශ්‍රී විජේසිංහගේ වතුර වීදුරුවට කෙළ ගැසූ පන්නයේ ජෙපිකරණයට ලක්වූ මුග්ධයා බවත් විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (09) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.