ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල අවුරුද්දට නැකැත් සීට්ටුවක් නැහැ… ජනතාවට කැමති විදිහට අවුරුදු කන්නැයි කියයි…!

March 10, 2026 at 4:40 pm | by emanisa.lk

ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල අවුරුද්දට නැකැත් සීට්ටුවක් නැහැ… ජනතාවට කැමති විදිහට අවුරුදු කන්නැයි කියයි…!

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේදී සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිල නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත.

පසුගිය 2024 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නැකැත් නිවැරදි නොවන බව පවසමින් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් එවකට සිටි විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ සමයේදී අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හරිනු ලැබිණි.

වසර එක හමාරකට අධික කාලයක් ගත වුවද තවමත් එම කමිටුව යළි රැස්කර නොමැති බව වාර්තා වේ. මේ පිළිබඳව කළ විමසුමකදී සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර තහවුරු කළේ මේ වසරේදී නිල නැකැත් සීට්ටුවක් නිකුත් නොකරන බවයි.

මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් එකිනෙකට වෙනස් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කර ඇති බැවින්, ජනතාවට තමන් කැමති ආකාරයකින් ඒවා පිළිගෙන චාරිත්‍ර ඉටු කළ හැකි බව ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

1991 වසරේ සිට සෑම වසරකම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිල නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කළ බව පවසන ජ්‍යොතිෂඥයෝ, මෙවර එවැනි නිල ප්‍රකාශනයක් නොමැති වීමෙන් චාරිත්‍ර ඉටු කිරීමේදී ජනතාව අතර දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගන්නා බව පෙන්වා දෙති.

ලංකාදීප

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *