බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළහොත්, තමන් ඔහුට එරෙහිව නඩු ගොනු කරන බව එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.
දූෂණ විරෝධී පනත අනුව, විමර්ශනයකට අදාළව නඩු පැවරීම හෝ නොකිරීම තීන්දු කරනු ලබන්නේ තිදෙනෙකුගෙන් සමන්විත අල්ලස් කොමිසම විසින් බව ද ඔහු සඳහන් කරයි.
කොමිසමේ එම නිර්දේශ අනුව, අධිචෝදනා පත්‍ර ගොනු කිරීම අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස තමා විසින් සිදු කරන බව රංග දිසානායක ප්‍රකාශ කරයි.
එමෙන්ම රහසිගතව අවසන් කරමින් තිබූ මෙම විමර්ශනය පිළිබඳ තීන්දුවක් ගැනීමට පෙර මාධ්‍ය මගින් එය ප්‍රසිද්ධ කිරීමෙන් විමර්ශනයට බාධා එල්ල වූ බව හෙතෙම පවසයි.
ප්‍රවෘත්තිය පළවූවේ කෙසේද යන්න පිළිබඳව මේ වන විටත් එය ගැටලුවක් බව පෙන්වා දුන් රංග දිසානායක, වැඩි දුරටත් පැවසුවේ කොමිසමේ තීරණයකට පෙර මාධ්‍යයට තොරතුරු කාන්දු වූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් කිරීමට ඉඩ ඇති බවයි.
ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු ප්‍රකාශ කළේය.