ඇපපිට ඉන්දියාවට පැන්න පොඩි ලැසී කුදලං එයි…!

February 27, 2026 at 10:22 am | by emanisa.lk

ඉන්දීය පොලිස් භාරයේ පසු වූ සංවිධානාත්මත අපරාධකරුවෙකු වන පොඩි ලැසී හෙවත් ජනිත් මධුසංඛ ද සිල්වා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් අද (27) අලුයම මෙරටට රැගෙන ඒමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවේදී අධිකරණ කටයුතුවලට මුහුණ දෙමින් සිටි මෙම සැකකරු ලංකාවට ගෙන එන්නේ ජාත්‍යන්තර පොලිසිය සමග රාජතාන්ත්‍රික වශයෙන් ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර පොඩි ලැසී 2024 දෙසැම්බර් 09 වන දා බන්ධනාගාරයෙන් පිටව ගියේ දැඩි රැකවරණ සහිතව වාහන පෙළපාළියකිනි.

ඒ වන විට ලැසීට එරෙහිව විදෙස් ගමන් තහනමක් ක්‍රියාත්මක වූ නමුත් ඔහු ඉන්දියාවට පළා ගොස් තිබිණි. ඔහු නැවතත් 2025 ජනවාරියේ මුම්බායිහිදී අත්අඩංගුවට පත්ව තිබුණේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන ඉන්දියාවෙන් පිටවීමට උත්සාහ කිරීමේදීය.

නීති විරෝධී ලෙස ඇතුළුවීමේ චෝදනාව මත ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ලැසී වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට මෙරට නීතිඥවරුන් ඉදිරිපත්ව තිබූ අතර ලැසී මෙසේ නැවතත් ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙන්නේ වසරක කාලයකට පසුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *