ලෝක සතුටු දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ අඩුවෙන්ම සතුටින් සිටින රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ. සෑම වසරකම මාර්තු 20 වෙනි දිනට යෙදෙන ලෝක සතුටුද දිනය වෙනුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම සිදුවෙයි.
පසුගිය ශ්‍රේණිගත කිරීමේදී 133 වැනි ස්ථානය හිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තවත් ස්ථානයක් පහළට ගමන් කරමින් 134 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු සංඛ්‍යාව 10න් 4කි. ඒ සඳහා රටවල් 147ක් ඇතුළත්ය.
මෙම නවතම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට ස්ථානයක් ඉහළින් සැමීබියාවද ස්ථානයක් පහළින් ඉතියෝපියාවද සිටියි.
එහිදී මියන්මාරයට 129, බංගලාදේශයට 127, ඉන්දියාවට 116, පාකිස්තානයට 104, නේපාලයට 99 සහ ජපානය ට 61 වැනි ස්ථානය හිමිව ඇත. ආසියාවේ සතුටින්ම සිටින රට තායිවානය වන අතර තායිවානයට ශ්‍රේණිගත කිරීමේ 26 වෙනි ස්ථානය හිමිව තිබේ.
ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තය වන අතර ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අයිස්ලන්තයට සහ ඩෙන්මාර්කයට හිමිව ඇත. සාධක හයක් මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරන අතර එම කරුණු අතර ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, නිදහස, දූෂණයෙන් තොර බව සහ ත්‍යාගශීලී බව තිබේ.