ආනන්ද විජේපාල වගේ අශිෂ්ටයන් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්නත් ලැජ්ජයි…! – මුජිබර් රහුමාන්….

October 23, 2025 at 1:39 pm | by emanisa.lk

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම සාධාරණීකරණය කළ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සමග පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සිදුවීම පිළිබඳ තමන් ලැජ්ජා වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

“වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා රාජකාරි කරමින් සිටිය දී මහ දවල් ඝාතනය කළා. මහජන ආරක්ෂක ඇමතිවරයා ඒ ගැන කතාව පටන් ගත්තේ පාතාලෙන්. ශිෂ්ට සම්පන්න සමාජයක නම් මනුස්සයෙක් ඝාතනයක් වුණාම ශෝකය ප්‍රකාශ කරලා තමයි, කතාව පටන් ගන්නේ. තමුන්නාන්සෙලා ගාව ඒ ශිෂ්ට සම්පන්න ගතිගුණයවත් තිබුණේ නෑ.

එතුමා පාතාලේ කියලා හංවඩු ගහලා ඒ ඝාතනය සාධාරණීකරණය කළා. ඒක තමයි භයානක. ඔබතුමා වගේ ඇමතිවරයෙක් එක්ක මේ පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න එක ගැන මම ලැජ්ජා වෙනවා. ඔබ ඒ ඝාතනය සාධාරණීකරණය කරමින් ඝාතකයන් වෙනුවෙන් අදහස් දැක්කුවා. ඔහුට නඩු හෝ අපරාධ චෝදනා ඇත්නම් ඔහු උසාවියට දාලා දඬුවම් දෙන්න තිබුණා. එහෙම නැතිව කවුරුවත් ඝාතනය කරන්න කාටවත් අයිතියක් නෑ.

වර්තමාන ජනාධිපතිතුමා පහුගිය ආණ්ඩු කාලේ කතා කළේ ඒවාට විරුද්ධව. ඝාතනය වුණ අයගේ ඉතිහාසය වැඩක් නෑ. ඇයි ඒ මිනිහා මැරුවේ. කොහොමද මැරුවේ. ඇයි මරන්න ඉඩ දුන්නේ කියලා තමයි අනුර දිසානායක එදා ප්‍රශ්න කළේ. එතුමාගේ පරණ කතා අරන් බලන්න.

එතුමා සභාපති වෙලා මාස හයක් වෙනවා. එතුමාට විරුද්ධව චෝදනා තිබුණා නම් අත් අඩංගුවට අරන් උසාවි දාන්න තිබුණා නෙ. ඇයි එතුමා ඝාතනය කළාට පස්සේ ඇවිත් ඒ කතා කියන්නේ. ඒ කතාවලින් පේන්නේ තමුන්නාන්සෙලා ශිෂ්ට සම්පන්න නෑ කියලා. තවමත් 88-89 කාලේ වගේ වෛරයෙන් වැඩ කරන්නේ කියලා. ඒකතමයි ඇමතිතුමා ඇවිත් එළියට දැම්මේ”

අද (23) පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *