ආණ්ඩුව හය මාසෙන් ඩොලර් බිලියනයක් හොයන විදිහ රටට කියන්න ඕන…! – දුමින්ද නාගමුව….

August 30, 2025 at 1:48 pm | by Namal

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත පැහැදිලි ලෙස කඩා වැටීමකට ලක්වී ඇති බවත් මේ වසර අවසාන වීමට පෙර තවත් ඩොලර් මිලියන නවසිය පනහකින් විදෙස් සංචිත වැඩි කරගන්නේ කෙසේදැයි ආණ්ඩුව රටට හෙළි කළ යුතු බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

“ආණ්ඩුව පැත්තෙන් විශාල ප්‍රචාරයක් ගෙනියනවා ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි කියලා. අපි දැක්කා ජනාධිපතිවරයා පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ආර්ථිකය ගැන නොයෙක් කතන්දර කියනවා. නමුත් ඇත්ත කතාව තමයි ලංකාවේ විදේශ විනිමය සංචිත පැහැදිලි බිඳවැටීමකට ලක් වෙලා. 2024 වසර අවසන් වෙද්දී ලංකාවේ මුළු විදෙස් විනිමය සංචිත පැවතුණේ ඩොලර් මිලියන 6091යි.

නමුත් 2025 ජුලි මාසේ වෙනකොට ඒ අගය ඩොලර් මිලියන 6144ක් දක්වා ඩොලර් මිලියන 53කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද අවසන් වෙද්දී අපි ඩොලර් මිලියන 7174 දක්වා අපේ විදෙශ විනිමය සංචිත වැඩිකර ගන්න ඕන. ඒ කියන්නේ ඩොලර් බිලියන 1ක්. ඒ කියන්නේ තව ඩොලර් මිලියන 950ක් අපි ඉදිරි මාස කිහිපය ඇතුළේ අත්පත්කර ගන්න ඕන. ආණ්ඩුව දැන් රටට හෙලිකරන්න ඕන ඉදිරි මාස කිහිපය ඇතුළේ ඩොලර් බිලියනයකට ආසන්න විදෙස් සංචිත රැස් කරන විදිහ.

අපි දන්නවා මේ ආණ්ඩුව හිතුවක්කාර විදිහට ජනතාවගේ කැමැත්ත පවා නොසලකමින් IMF සහ ජාත්‍යන්තර ස්වරීත්ව බැඳුම්කර හිමියන් සමග ඉතාමත් දුෂ්කර ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලස්මකට ගියා. දැනට ඒ සැලැස්ම අනුව අපි ණය සඳහා වන පොලී විතරයි ගෙවමින් ඉන්නේ. මේ ණය ගිවිසුම් අනුව ලංකාවට 2028 අවුරුද්දේ ඉඳලා ණය ගෙවීම ආරම්භ කරන්න වෙනවා. හැබැයි ඒ වෙද්දි අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් දක්වා ප්‍රසාරණය වෙලා තියෙන්න ඕන. නමුත් දැනට ඩොලර් බිලියන 6ක සංචිත ප්‍රමාණයක් විතරයි අපිට තියෙන්නේ.

2028 අවුරුද්ද වෙද්දි තව ඩොලර් බිලියන 9ක් අපිට හොයන්න වෙනවා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. මේ තත්ත්වය කලින් ඇති වෙන බව දන්න නිසා තමයි අපි ආණ්ඩුවට පළවෙනි මොහොතේම කිව්වේ මේ දුෂ්කර ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලස්මට යන්න එපා. මේක ලංකාවට ඉතාම අවාසිදායක ණය සැලස්මක් කියලා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් ගණන් නොගෙන උද්දච්ච විදිහට රනිල් වික්‍රමසිංහල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟවුණු ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේ අවාසිදායක ණය එකඟතාව නිසා ඉදිරියේදී රටේ ආර්ථිකයට බරපතළ කම්පන තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා.”

දුමින්ද නාගමුව මේ බව පැවසුවේ ඊයේ (29) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *