ආණ්ඩුව රාජ්‍ය සේවය විනාශ කරනවා… පාලනය වෙනස් නොකළොත් රටම කඩා වැටෙනවා…! – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග…

February 11, 2026 at 10:00 am | by emanisa.lk

වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටින බවටත්, පවත්නා පාලන ක්‍රමය වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලකට (Total Chaos) ඇද වැටිය හැකි බවටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනතුරු අඟවයි.

ඇය සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නේ, දශක දෙකක කාලයක් තිස්සේ පැවති අයහපත් පාලනය හේතුවෙන් රට දැනටමත් විනාශයට පත්ව ඇති බවයි.

හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ක්‍රියාත්මක විය නොහැකි බවයි. එහෙත් වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කර, ඒ වෙනුවට සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති තම පක්ෂයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් පත් කිරීමට උත්සාහ කරන බවට ඇය චෝදනා කරයි.

“දේශපාලන නායකයන්ට වසර ගණනාවක පළපුරුද්දක් හෝ වෘත්තීයභාවයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ, නමුත් ඔවුන් නොසැලෙන අඛණ්ඩතාවයකින් (Integrity) යුක්ත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය ගෙන යාමට දේශපාලන නායකයන් වෘත්තීය රාජ්‍ය සේවය මත යැපිය යුතුය.”

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ ඔහු අතිශයින්ම අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක සිටින රාජ්‍ය නිලධාරියෙකු බවයි.

රටේ පාලනය බරපතල ලෙස පිරිහීම හේතුවෙන් ජනතාව “අරගලය” කරා යොමු වූ බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන දැනුවත්භාවය මේ වන විට ඉහළ මට්ටමක පවතින බවත් කුමාරතුංග මහත්මිය පවසයි.

රට යළි ගොඩනැගීමේ විසඳුම පවතින්නේ ජනතාව අතේ බව පෙන්වා දෙන ඇය, පවතින තත්ත්වයේ බරපතලකම වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් අවධාරණය කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *