ආණ්ඩුව රටට පොරොන්දු 1329ක් දුන්නා… මාස දහයක් ගෙවිලත් කිසිවක් ඉටු කර නෑ… වෙරිටේ රිසර්ච් කෙබර කෙළිනවා…!

July 23, 2025 at 2:44 pm | by emanisa.lk

ආණ්ඩුවට මාස 10ක් වුව ද ලබාදුන් පොරොන්දු 1,329න් එකක්වත් ඉටු කර නොමැති බවත් එකක් ඉටු කළ බවට වෙරිටේ රිසර්ච් බොරු කියන බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

“මේ ආණ්ඩුව පත් වුණේ අවුරුදු පහකට. ඒ කියන්නේ මාස 60කට. හරියටම අදට මේ ආණ්ඩුව පත් වෙලා මාස 10යි. ඒ කියන්නේ ආණ්ඩුවේ ආයු කාලයෙන් 1/6ක් අදින් ඉවරයි. එහෙම නම් මේ ආණ්ඩුව ලබා දුන්නු පොරොන්දු වලින් 1/6ක් මේ වන විට ඉටු කර තිබෙන්න ඕනි.

මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ලබා දුන්නු පොරොන්දු නම් ඔක්කෝම වගේ පච වෙලා තිබෙනවා. අපි මාලිමා පච 100ක් එකතු කරලා උදය ගම්මන්පිල යූ ටියුබ් නාලිකාවට එකතු කරලා තිබෙනවා. ඒවා ආවාට ගියාට කිව්ව ගොං කතා කියමුකෝ. නමුත් මැතිවරණ ප්‍රකාශනයක් එහෙම නෑ. විද්වතුන් වෘත්තීයවේදින් සහ දේශපාලකයින් එකතු වෙලා සකස් කරන වැදගත් ලේඛණයක්. වේදිකාවේ පච කිව්වත් මැතිවරණ ප්‍රකාශනයේ පච තිබෙන්න බෑ. මේ නිසා පිවිතුරු හෙළ උරුමයේ පර්යේෂණ අංශය විසින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කියන ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ගැන හොයලා බැලුවා.

මේ මැතිවරණ ප්‍රකාශනයේ “පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 331ක් තිබෙනවා. “ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 181ක් තිබෙනවා. “නවීන ජීවිතයක් – පොහොසත් රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 604ක් තිබෙනවා. “අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 213ක් තිබෙනවා. මේ සියල්ල එකතු කලාම මාලිමා ආණ්ඩුව ජනතාවට පොරොන්දු 1,329ක් ලබා දීලා තිබෙනවා.

අදට ආණ්ඩුවේ ආයු කාලයෙන් 1/6ක් අවසන් නිසා අද වන විට මේකෙන් අඩුම ගණනේ 1/6ක් ඒ කියන්නේ පොරොන්දු 221ක් ඉටු කරලා තිබෙන්න ඕනි. නමුත් ඇත්තටම ඉටු කරලා තිබෙන්නේ කීයද? අපට නම් ඉටු කළ පොරොන්දු එකක්වත් හමු වුණේ නෑ. මොනවා හරි ඉටු කලා නම් අනේ අපට කියන්න. එතකොට අපි ඒක පිලි ගන්නම්.

වෙරිටේ රිසර්ච් කියන රාජ්‍ය නොවන සංවිධානයක් කියලා තිබුණා පුද්ගල ආදායම් බදුවල නිදහස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව විතරක් ඉටු කළා කියලා. නමුත් ඒක බොරුවක්. මාලිමාව පොරොන්දු වුණේ පුද්ගල ආදායම් නිදහස් සීමාව ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහල නංවනවා කියලා. මැතිවරණ ප්‍රකාශනයේ 103 පිටුව බලන්න. ඒකේ තිබෙන්නේ එහෙමයි. “පුද්ගලයින් සඳහා වන වාර්ෂික නිදහස් බදු සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 24 දක්වා වැඩි කිරීම සහ බදු කාණ්ඩ සහ බදු අනුපාත සාධාරණ ලෙස සංශෝධනය කිරීම”.

ඇත්තටම නිදහස් බදු සීමාව වැඩි කළේ ලක්ෂ 24ට නොවේ. ලක්ෂ 18ක් දක්වා විතරයි. ඉතින් කොහොමද ඒ පොරොන්දුව ඉටු කළා කියන්නේ. මුකුත්ම නොකරපු ආණ්ඩුවක් එක පොරොන්දුවක් හරි ඉටු කළා නෙ කියලා ආණ්ඩුව බේරා ගන්න ගහපු ගැටයක් ඒක.

මේ ආණ්ඩුව බලයට ආවේ බදු අඩු කරලා ආදායම වැඩි කරලා බඩු මිල අඩු කරලා අපට පොහොසත් රටක් ලස්සන් ජීවිතයක් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා. හැබැයි අඩු වෙලා තිබෙන්නේ බිත්තර මිල විතරයි. බිත්තරවලින් විදුලි පහන් පත්තු වෙන්නේ නෑ. බිත්තරවලින් වාහන දුවන්නේ නෑ. අසනීපවලට බෙහෙත් ගන්න ගියාම දොස්තර බිත්තර කන්න කියලා ලියන්නේ නෑ. අද මේවාට එරෙහිව උද්ඝෝෂණයක් වත් නැත්තේ එදා හිටියේ ඇවිදින ඇටසැකිලි නම් අද ඒ ඇටසැකිලිවලට ඇවිදින්නවත් බැරි තත්වයක් ඇති වෙලා තිබෙන නිසා. ඒ නිසා “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” කියන ආණ්ඩුවේ තේමාව “පොහොසත් අයට – ලස්සන් ජීවිතයක්” ලෙස වෙනස් කරන්න අපි යෝජනා කරනවා.”

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස