පසුගිය ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු යටතේ සිදු නොවූ පාස්කු ඝාතන විමර්ශන වර්තමාන ආණ්ඩුව යටතේ පිළිවෙළකට සහ ස්වාධීනව සිදුවන බව අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා පවසයි.
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නේ මාස 16ක් තිස්සේ සිදුවන එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බවයි, එතුමා පෙන්වා දෙන්නේ.
එලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි තමන් විශ්වාස කරන බවද සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කරයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරය සඳහා ඔහුගේ සබඳතාවක් ඇත්දැයි වැඩිදුර විමර්ශනය සඳහා බවත් දැනට සැකකරුවෙකු වන සලේ වැරදිකරුද යන්න තීරණය වන්නේ අධිකරණය ඉදිරියේ බවද එතුමා සඳහන් කරයි.
ඒ නිසා කිසිවෙකු කලබල වී මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමට හෝ සමාජ මාධ්‍යවල හෑලි ලිවීමට අවශ්‍ය නැති බවද සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කරයි. එම විර්ශනවලින් අදාළ ප්‍රහාරය පිටුපස කිසිවෙකු සිටියේද එසේ සිටියේ නම් ඒ කවුද යන්න හෙළිවනු ඇති බවද එම විමර්ශනවලට බාධා කිරීම පාස්කු ප්‍රහාර වින්දිතයන්ට එරෙහිව කරන අපරාධයක් බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අද(26) මාධ්‍ය හමුවක් කැඳවමින් අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා මේ බව කීය.