ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පමණක් නොව රට භුක්ති විඳින ආර්ථික වරප්‍රසාද පවා අහිමි කරන අතිශය භයානක එකක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.
“1979 වසරේ ගෙන ආ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇහිරෙන බව කියමින් ගෙන එන මේ පනත මගින් භාෂණයේ, අදහස් හුවමාරුවේ, රැස්වීමේ නිදහස පවා අහිමි කරනවා. මේ පනත සම්මත වුණොත් රට තුළ බියක් නැතුව ජීවත්වීමට හැකි වන්නේ නැහැ.
යුරෝපා සංගමය සමඟ අත්සන් තැබූ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව රටක් ලෙස නොයෙකුත් වරප්‍රසාද හිමිකරගෙන තිබෙනවා. ඒ හිමිකම් ලැබෙන්නේ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව වැඩ කළොත් පමණයි. මේ පනත් කෙටුම්පත සම්මත වීම එම ගිවිසුම්වලට පටහැනි වීමක්. මේ නිසා අපිට ලැබී තිබෙන ආර්ථික වරප්‍රසාද රැසක් අහිමි විය හැකියි. මේ නිසා රටේ ආර්ථිකයට වෙන බලපෑම තක්සේරු කළ නොහැකි තරම්.
දැනටමත් මානව හිමිකම් සංවිධාන මේ පනත ගැන අනතුරු අඟවා තිබෙනවා. ත්‍රස්තවාදය ආශ්‍රිත ක්‍රියා ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියා ආදී ලෙස සඳහන් කර තිබුණත් අදාළ වරද පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නොතිබීම භයානක තත්ත්වයක්. අපරාදේ ස්වභාවය අපැහැදිලි බව නිසා මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. වරදක් කිරීමේ අදහසකින් තොරව යම් අදහසක් දැක්වීම වරදක් බවට පත්ව වසර විස්සකට සිරගත විය හැකියි.
සන්නද්ධ හමුදා පොලීසිය වෙරළ ආරක්ෂක පිරිස්වලට අති විශාල බලයක් මෙමගින් හිමිවෙනවා. ඔවුන්ට නිවෙස්වලට ගොස් ලිපි ලේඛන පරීක්ෂා කිරීමට පවා බලය ලැබෙනවා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට වසරක කාලයකට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන්ව විශේෂ රැඳවුම් ස්ථානවල රැඳවීමේ හැකියාව තිබෙනවා. අධිකරණ භාරයේ සිටින පුද්ගලයෙක්ව ආරක්ෂක ලේකම්වරයාට අධිකරණ භාරයෙන් පොලිස් භාරයට යවන්නත් පුළුවන්.
වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇහිරෙන බව සඳහන් කරමින් ගෙන ඒමට උත්සහ කරන්නේ ඊට වඩා භයානක පනතක්. පුද්ගල නිදහස පළල් කිරීමක් වෙනුවට අහිමි කිරීමක් මෙමගින් සිදුවෙන්නේ. යම් යම් ස්ථාන තහනම් ස්ථාන ලෙස නම් කරන්න පුළුවන්. එවැනි ස්ථානයකට ජනමාධ්‍යවේදියෙකුට ඇතුල් වෙන්නත් බැහැ. එවැනි ස්ථානයකට ඇතුල් වුණොත් වසර තුනකට බන්ධනාගාරගත වෙන්න හෝ මිලියන තුනක දඩයකට යටත් වෙන්න වෙනවා.”
හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) කොළඹදී පැවැති මහජන හඬ මාධ්‍ය හමුවට එක්වෙමිනි.