ආණ්ඩුව කොන්ද කෙළින් තියාගෙන වෘත්තීය සමිති මාෆියාව අතුගා දැමිය යුතුයි…! – වනවාසී රාහුල හිමි…

August 23, 2025 at 9:55 am | by Namal

වැඩ වර්ජන, පිකටිං, උද්ඝෝෂණ ඔස්සේ රට ආගාධයට ඇද දැමූ වෘත්තීය සමිති ව්‍යාපාරය රටෙන් තුරන් කළ යුතු යැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසයි.

“කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා පහුගිය දවසක කිව්වා තැපැල් සේවකයන්ට කැමති නම් ඉන්න, අකමැති නම් යන්න කියලා. ඕක තමයි කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න කිව්වේ ඔන්න ඕවාට. මේවා මේ වෘත්තීය සමිතිවලට යටවෙලා විවිධ දේශපාලනඥයන්ගේ අදහස් උදහස්වලට මුළාවෙලා මේක කරන්න බෑ. මින් ඉදිරියට මෙවැනි වැඩ වර්ජන ඇති නොවන තත්ත්වයට ආණ්ඩුව විධිමත් ලෙස කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඕන කියන එක තමයි මම දකින්නේ.

වර්තමාන ආණ්ඩුව පහුගිය ආණ්ඩු කාලවල වෘත්තීය සමිති කැඳවලා විවිධ වැඩ කාබාසීනියා කරන්න කටයුතු කරපු ආණ්ඩුවක්. ඒක වෙනම කතාවක්, හැබැයි ඒ වුණාට දැන් ආණ්ඩුවට තේරිලා තියෙනවා මේ වෘත්තීය සමිති වැඩවර්ජන කිරීම තුළ අසරණ අහිංසක ජනතාව තමයි පීඩනයට පත් වෙන්නේ. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මින් ඉදිරියට පත්වීම් ලබා දීමේදී පත්වීම් ලිපියේ කොන්දේසියක් දාන්න ඕන වැඩවර්ජන කිරීම, වෘත්තීය සමිතිවලට සම්බන්ධ වීම සපුරා තහනම් කරලා, එවැනි වැඩපිළිවෙලකට යන්න අවශ්‍යයි.

මේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටෙන් අවසන් කරන්න ඕන, වෘත්තීය සමිති ක්‍රියාදාමය තමයි මේ රට මේ තැනට පත් කරන්න හේතු වුණ ප්‍රධාන සාධකය. විවිධ දේශපාලනඥයෝ බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වෘත්තීය සමිති ඇති කරලා, වැඩවර්ජන, උද්ඝෝෂණ ඇති කරලා නොයෙක් දේවල් කරලා බලාපොරොත්තු වෙනවා එක් එක්කෙනාගේ දේශපාලන අරමුණු සපුරා ගන්න.

ඔය දැන් පත්වීම් ලබාගෙන ඉන්න අයත් විවිධ දේශපාලන පක්ෂවල, විවිධ ආණ්ඩු වලින් පත්වීම් ලබා ගත්ත අය. ඒගොල්ල බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මීට වඩා හොඳ ක්‍රමයක්. ඇඟිලි සලකුණු තියන්න බෑ කියලා කියන්නේ, අතිකාල දීමනා අත්‍යවශ්‍යයි කියන්නේ. ඕනම රාජ්‍ය ආයතනයක ඇඟිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කරලා තියෙනවා. ඇයි තැපැල් දෙපාර්තමේන්තුවට විතරක් මේක කරන්න බැරි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. මේ වෙලාවේ ආණ්ඩුව කොන්ද කෙළින් තියාගෙන අදහස් ප්‍රකාශ කිරීම, තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත්.”

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (22) පෙරවරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *