තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඉදිරිපත් කරන ඉන්ධන මිල ගණන් ටොම් පච බවත්, සැබෑ පිරිවැය වසන් කරමින් රජය ජනතාව සූරාකන බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට භාවිත කළ මිල සූත්‍රය හැකි නම් හෙළිකරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.
“සිංගප්පූරු ප්ලැට්ස් (Platts) මිල දර්ශකයට අනුව 2026 මාර්තු මාසයේ පෙට්‍රල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 130ක්. එවිට ලීටරයක මිල රුපියල් 253ක් විය යුතුයි. නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුගේ ලාභය එකතු කළත් රුපියල් 253ක තෙල් ලීටරය රුපියල් 430ක් දක්වා වැඩි වුණේ කොහොමද? ඒ වගේම ඩීසල් ලීටරයක මිල රුපියල් 292ක් වෙද්දී පිරිවැය 587ක් ලෙස පෙන්වන්නේ ජනතාව රවටන්නයි.
ඉන්ධන මිල මෙතරම් ඉහළ ගොස් ඇත්තේ ලෝක වෙළඳපොළේ මිල නිසා නෙමෙයි, ආණ්ඩුව අය කරන දැවැන්ත බදු නිසායි. ඉන්දියාව සහ තායිලන්තය වැනි ආසියානු රටවල් මෙන්ම යුරෝපයේ රටවල් රැසක් ද ඉන්ධන බදු අඩු කර ජනතාවට සහන දී තිබෙනවා. 2025 වසරේදී බදු පිට බදු ගසා භාණ්ඩාගාරය පුරවාගෙන තිබෙනවා. ඉන්ධන බදු අඩු කිරීමට රජයට කිසිදු බාධාවක් නැහැ.
ඩීසල් හිඟ වුණේ ජනතාව පෝලිම්වල සිට වැඩිපුර තෙල් ගත් නිසා නෙමෙයි, බාල ගල්අඟුරු නිසා ඇති වූ විදුලි අර්බුදය පියවීමට ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන්න වුණ නිසායි. බාල ගල්අඟුරුවල බර පැන යුද්ධය පෙන්වලා ජනතාව මත පටවන්න එපා. යුද්ධයේ බර දරන්න ජනතාව සූදානම් වුණත්, කුමාරවරුන්ගේ සුද්දේ බර දරන්න ජනතාව සූදානම් නැහැ.
2022 අර්බුදයට වඩා වත්මන් තත්ත්වය භයානකයි. ඩොලරය ස්ථාවරව තියෙද්දි මේ විදිහට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් දේශීය අපනයනකරුවන් ලෝක වෙළඳපොළේ අසාර්ථක වී රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක් පවතිනවා.”