ආණ්ඩුවේ තවත් බොරුවක් අතේ පත්තු වෙයි… ත්‍රිපෝෂ සමාගම ඈවර කරන ගමන දිගටම…!

November 10, 2024 at 12:28 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ තොරතුරු නොමග යවන සුළු බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. සමාජය නොමග යැවීම සැබවින්ම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයම බව එම නිවේදනය කියවන විට පෙනේ.

එම නිවේදනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය. අප කිව්වේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බව සඳහන්ව ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියා නොවේ. එය සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් 2024 සැප්තැම්බර් මස 27 වන දින නිකුත් කරන ලද අංක 2403/53 දරන ගැසට් නිවේදනයේය. එම ගැසට් නිවේදනයේ ද එවැන්නක් සඳහන්ව නැති බව නිවේදනයේ යට ඡේදයක සඳහන්ව ඇත.

මුදල් අමාත්‍යාංශය සමාජය නොමග යවන බවට හොඳම නිදසුන එම වාක්‍යයි. අපට අසන්නට ඇත්තේ මෙපමණකි. එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අත්සන් කර රජයේ මුද්‍රණාලයාධිපති විසින් නිකුත් කරන ලද එකක් නොවේද? රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ව්‍යාජ ගැසට් නිවේදනයක් එකතු වුයේ කෙසේද? එය නිවැරදි ගැසට් නිවේදනයනම් එහි මුදල් අමාත්‍යංශයට අදාළ කොටසේ 36 වන වගන්තියේ ඈවර කිරීමට නියමිත ආයතන II උපලේඛනයේ 54 සිට 57 දක්වා සඳහන්ව ඇති බව ලියා නැද්ද? එය අපට ඇතිවූ යම් දෘෂ්ටි මායාවක්ද? II උපලේඛනයේ 57 වන අංකය යටතේ ශ්‍රී ලංකා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ලෙස සඳහන්ව නැද්ද? එයත් යම් දෘෂ්ටි මායාවක්ද?

ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහයක් දරන ලද බව සඳහන්ව ඇත්තේ රජයේ නිල ගැසට් නිවේදනයකය. එයට සමාජ විරෝධය එන විට එය නිවැරදි කිරීමට මැදිහත්වීම යහපත් ප්‍රවණතාවකි. එහෙත් රජයේ නිල සහ නීත්‍යානුකූල ලියවිලි වන්නේ ගැසට් නිවේදන මිස මාධ්‍ය නිවේදන නොවේ. ඒ නිසා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පසෙක ලා ගැසට් නිවේදනය සංශෝධනය කර වහාම නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. එය සිදු නොකර අතේ පැලවෙන මුසාවන් දෙසා බෑම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට තරම් නොවේ.

මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු රජයේ බලධාරීනි, විහිලු කරන්න එපා! වගකීමෙන් වැඩ කරන්න.

පුබුදු ජයගොඩ FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *