අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම තීරණයට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පියවර ගෙන තිබේ.
ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අමාත්‍ය චන්දන අබේරත්න පවසයි
“රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සියල්ලම විශේෂම වැඩසටහන් සකස් කරගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා බලශක්තිය හා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා. ආයතනවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කිරීම, අධික වියදමක් වැයවෙන වෙළෙඳ ප්රචාරක පුවරු සීමා කිරීම සහ රාත්‍රී 9න් පස්සේ, ඔෆ් කරලා තබාගැනීම අවශ්‍ය වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන වගේම සමස්ත පුරවැසියන්ටත් අපි ආරාධනා කරනවා මේ මෙහෙයුමට දායකවීමට ඔබටත් යම් වගකීමක් තියෙනවා.”