ඇත්තෙන්ම කරුණු තුනක් මුලින් ම කියන්න ඕනෙ. එකක් තමයි අධ්‍යාපනය සම්බන්ධව සාධාරණය මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මේ දක්වා කරල නෑ. පහත් යැයි සම්මත සමාජවල ඉන්න කට්ටියට සහ දුප්පත් අයට පවා සමාජයේ පිළිගැනීමක් ලබාගැනීමේ හා ඉහළ යෑමේ එකම සාධාරණ මාර්ගය වුණේ අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපන අයිතිවාසිකම කියන දෙකම ආරක්ෂා කිරීම අපට අවශ්‍යයි. කිසිම ආණ්ඩුවක් ඒක නිවැරදිව හා සාධාරණව කරල නෑ.
ඉතින් ඒ වගේ තත්ත්වයක අපිට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ ආණ්ඩුව යම් මට්ටමකින් හෝ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හා අධ්‍යාපන අයිතිවාසිකම හැටියට ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි කියල. හැබැයි අපි දකින ඛේදවාචකය තමයි මේ අයත් අර කලින් කරපු ප්‍රශ්නම ඊටත් වඩා උග්‍ර හා නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක කිරීම. උදාහරණ කීපයක් ගත්තොත් ඇත්ත වශයෙන් ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියල ක්‍රියාත්මක කළේ ධවන පත්‍රිකාවක්වත් නැතුව, කිසිම සාකච්ඡාවක්වත් නැතුව තමන්ට අවශ්‍ය විදිහට, හිතුවක්කාර විදිහට, අහේතුක විදිහට හා අත්තනෝමතික විදිහට.
ඒවා අපි නැවත නැවත බැලුවට පස්සෙ අපිට තේරෙන්නෙ ඒවා කලින් කරපු සංශෝධන ම එලෙසම ක්‍රියාත්මක කිරීමක් බව. ඇත්ත වශයෙන් ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සහ ඊට කලින් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච මේ ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ නොසැලකිලිමත්කම තමයි මෙතන ඉදිරිපත් වුණේ. ඒක තමන්ගේ හැටියට කියලා අධ්‍යාපන ඇමතිතුමිය ප්‍රකාශ කළත්, මේක දැඩි හා පුළුල් සාකච්ඡාවක් ඇතුළෙ සිදු කළා කිව්වත්, ඒකට කිසිම සාක්ෂියක් අපිට පෙනෙන්න නෑ. අඩුම තරමෙ අමාත්‍යංශයේ නමවත් සංශෝධනය කරන්නෙ නැතුව ඒ පෙර සංශෝධන ම කිසිම වෙනසක් නොකරයි ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. ඒක ඛේදවාචකයක්.
ඇත්තටම මම අගමැතිතුමියගෙන් බොහොම යටහත්ව අහන්නෙ මේ ගැන සැලකිලිමත් වෙන්නෙ නැද්ද ? මේ ගැන හිතන්නෙ නැද්ද? මේක මහ විශාල වගකීමක්. ආණ්ඩු පෙරළෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය අපි සුරකින්න ඕනෙ නේ ද? නිදහස් අධ්‍යාපනයෙන් සෑම දෙනාටම තියෙන සම අධ්‍යාපන අවස්ථාව ආරක්ෂා කරන්න ඕනෙ නේද? මේක තමයි මූලික ප්රශ්නය.
ඒ මූලික ප්රශ්නය අපි පැත්තකින් තියලා මේ අලුත් මතභේදය බලමු. ඒක අරකේ ප්‍රතිබිම්භයක්. එහෙම නැත්නම් දිගහැරීමක් හෝ මතුවීමක්. හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත බැලුවම තේරෙනවා ඒක කිසිම සැලකිල්ලක් නැතුව ඒ කලින් තිබුණ අධ්‍යාපන අර්බුදයට වගකිව යුතු කට්ටිය ම විසින් එලෙසම කිසිම වගකීමක් නැතුව, තැකීමක් නැතුව, සංවාදයක් නැතුව කරපු විකාර මගඩියක් බව. ඒක තුළ ඇත්තෙන්ම ඔය තියෙන විදිහට හය වසරේ ශිෂ්‍යයන්ට කිසිසේත්ම අදාළ නැති, වලංගු නොවන ඒකට සුදුසු නොවන වෙබ්සයිට් පවා යොමුකිරීම ඒක ඉතාම බරපතල වරදක්. හැබැයි ඊට වඩා වරද නොසැලකිලිමත්කම. අගමැතිතුමිය මේ ගැන බලන්නෙ නැද්ද? එයාට තේරෙන්නෙ නැද්ද?
මේ ප්රශ්නවල මුලයි, මැදයි, අගයි ඔය ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන නොහැකියාව, නොසැලකිල්ල, පිරිස් කළමනාකරණය කිරීමේ දුර්වලකම, වග නොවීම. එතුමියගෙන් සහ ආණ්ඩුවෙන් මම අහන්නෙ ප්‍රශ්නයක් තියෙන බව අපි පිළිගන්නවා. අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ඒක නවීකරණය විය යුතුයි, ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි. ඒක විභාග මට්ටමෙන් දුරස් විය යුතුයි. ඉතින් ඒකට වග කියන්නෙ කවුද? මේ නිලධාරීන් ම නේද? අවුරුදු ගාණක් තිස්සෙ රජයන් වෙනස් වුණත් ඒ නිලධාරීන්ම තමයි මේවා කළේ. ඉතින් ඔබතුමිය සහ මේ ආණ්ඩුව හිතනවා ද කිසිම අධීක්ෂණයක් නැතිව, කිසිම යම් විදිහෙ වෙනසක් නැතිව ඒ නිලධාරීන්ට ම පුළුවන් කියලා මේ වෙනස ඇති කරන්න. ප්රශ්නය ක්‍රියාත්මක කරපු, ප්රශ්නය වවාගෙන කන, ප්‍රශ්නයම වෙන අයගෙන් අපිට විසඳුමක් ලබාගන්න පුළුවන්ද?
ඒකෙ වෙනසක් කරේ නෑ. අධීක්ෂණයක් නෑ. ඉංග්‍රීසි පෙළපොත ගැන මට යම් දැනුමක් තියෙනව. මම දන්නව මේක සැලකිල්ලක් නෑ. එවෙලෙ කරන එකක්. කොත්තු රොටියක් වගේ. මේ සංවාදය කෝ? සාකච්ඡාව කෝ? පුළුල් මට්ටමෙන් මේවා කතා කිරීම වැදගත් නේද? අධ්‍යාපනය කියන්නෙ අපේ වටිනාම දේ. අපේ ශිෂ්‍යන්ට, අපේ දරුවන්ට අපි දෙන එකම දායාදය. ඒක තුළ තමයි පන්තිය එහා මෙහා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නෙ. අපේ වටිනාකම් ස්ථාපිත වෙන්නෙ ඒකෙන්. සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ ඒකෙන්. ඉතින් ඒ මූලික ප්‍රශ්නවලට මුහුණ නොදී ලෝක බැංකුවෙන් දෙන ඩොලර් මිලියන දෙසීය ලබාගන්න කරපු මේ විෂය නිර්දේශ සංශෝධනය දිගටම යනවා. මේක ගෝඨාභය රාජපක්ෂ කාලෙ කරපු එකක්. වෙනස් වෙලා නෑ. ඒකෙ අර ධවල පත්‍රිකාවකුත් නැහැ.
අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය විදිහට දුන්න Power point එකෙත් අන්තිම Slide එකේ සාකච්ඡා කළ යුතු අංශ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන ප්‍රකාශක අංශය තියෙනවා, විභාග දෙපාර්තමේන්තුව තියෙනවා, අධ්‍යාපන කොමිසම තියෙනවා, ජාතික අධ්‍යාපන ආයතනය තියෙනවා. ඒ පහයි ඊට අමතරව තියෙන්නෙ පෞද්ගලික අංශය. ගුරුවරු නෑ. වෘතිය සමිති නෑ. ශිෂ්‍යයෝ නෑ. වෙන පාර්ශ්වයන් නෑ. විශ්වවිද්‍යාලයේ අය නෑ. මේක කලින් ආණ්ඩුව කරපු එකක්. අඩුතරමෙ ඒකවත් වෙනස් කරේ නෑ. වෙන එකක් තියා එතන තියෙන මුල් පිටපත්වල අධ්‍යාපන අමාත්‍යංශයේ නමත් වැරදියි. රනිල් වික්‍රමසිංහගෙ අධ්‍යාපන අමාත්‍යංශය තමයි එතන තිබ්බෙ. මං කියන්නෙ මේක දැවැන්ත නොසැලකිල්ලක් නෙ.
ඒත් අපි දන්නව ආණ්ඩුවට විරුද්ධ අය මේක වවාගෙන කනවා. ආණ්ඩුවට පක්ෂ අය; මම ඒක හඳුන්වන්නෙ කඩේ යන නඩේ කියල. ඒ අය මේක පිරිසිදු කරන්න හදනවා. එක එක ඒවා අරගෙන කතා කරනවා. අපි ඒ දේශපාලන වාසි අවාසි පැත්තක තියල එකතු වෙලා මේ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරමු. මේක කළ නොයුතු දෙයක්. හදිසියේ කරන්න බැහැ. ගුරු පුහුණු කරන්න බෑ මේ තත්ත්වය මත. ඒ පෙළපොත් අයින් කරන්න ඕනෙ. ඒවා ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ. ගැටලුත් ප්‍රාථමික මට්ටමේ. ඒකෙ තියෙන Internet Links ඉතා ම වැරදියි. සැලකිල්ලක් නෑ. අති ඛේදනීයයි මේක.
ඉතින් මේ වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු මේ පක්ෂයේ ඉන්නවලු, මේ කණ්ඩායමේ ඉන්නවලු. එතකොට ජාතික අධ්‍යාපන කොමිසමේ පත්කිරීම් ගැනත් අපි දන්නවා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඒකෙ පාලක කමිටුවේ ඉන්නව විශ්වවිද්‍යාලයේ කට්ටිය. ඒ අය බලන්නෙ නැද්ද මේක? වගවෙන්නෙ නැද්ද ? ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි අංශය ගැන බලන්නකො. ඒකෙ හිටපු අධ්යක්ෂ දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිළයක් දරනවා. එයාගෙ ඇබෑර්තුව පුරවලා නැහැ. එතන ඉන්නෙ එකම තාවකාලික සහකාර ආචාර්යවරයෙක් විතරයි. අනිත් අය පිට කට්ටිය. ඇයි විද්වත් අය දාන්නෙ නැත්තෙ මේකට. ඇයි මේකට කාලය ගන්නෙ නැත්තෙ? මේකට කාලය ගන්න ඕනෙ.
මේක තුළින් අපේ ශිෂ්‍යයන්ගේ තියෙන අවස්ථාව අහිමි කරන්න එපා. නැවත නැවත මම කියන්නෙ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නවලට වගකිවයුතු අයට කිසිම පාලනයක් නැතුව මේවා විසඳන්න ඉඩ දෙනව ද ? අගමැතිතුමියගේ හෘද සාක්ෂිය ඉඩ දෙනව ද මෙහෙම දෙයක් කරන්න? ඊට පස්සෙ එක එක ප්‍රශ්න මතු කරනවා. එතකොට කඩේ යන නඩේ ඒව පිරිසිදු කරනවා. නොයෙක් විදිහෙ ඒව කියනවා. විපක්ෂයේ අය කොහොමද මේව කතා කරන්නෙ, අනිත් අය මොනවද කියන්නෙ ඒක නෙවෙයි අදාළ. පණිවිඩ ගේන කෙනාට දෝෂාරෝපණයක් නෙවෙයි අවශ්‍ය වෙන්නෙ. මොන විදිහෙ හොරෙක් පණිවිඩය ගෙනාවත් පණිවිඩය බලන්න.
මේ සංශෝධනය වැරදියි. මේ පෙළපොත සම්පූර්ණයෙන් අලුත් කරන්න ඕනෙ. මේවා කඩිමුඩියෙ කරන්න බෑ. මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වගේ ඒවා පලැස්තර අලවනව වගේ කරන්න බෑ. ඒවට අවුරුද්දක් දෙකක් යනවා. පුහුණුවක් කරන්න ඕනෙ. ඉංග්‍රීසි පුහුණුවක් කෝ ? ජාතික අධ්‍යාපන ආයතනය අතේ මේ පුහුණුව තියෙන තාක්කල් ඉංග්‍රීසි අධ්‍යාපනය පිරිහෙනව පිරිහෙනවමයි. ඒක අපි දන්නවා. ඒක අපි අත්විඳල තියෙනව. අපි දැකල තියෙනව ඒක. ඒකට සාක්ෂි තියෙනව. ගුරුවරු නෑ ඒව කරන්න. පුහුණුකරන ක්‍රමවේදය වැරදියි. හැබැයි ඉතින් ඒක කුමන්ත්‍රණයක්.
ඉංග්‍රීසි උගත් පැලැන්තියට අවශ්‍යයි ඉංග්‍රීසි කියන වරප්‍රසාදය ආරක්ෂා කරන්න. ඉතින් ඒ අය මුකුත් කියන්නෙ නෑ මේ ඛේදවාචකය ගැන. ඉංග්‍රීසි පෙළපොත් වැරදියි, ඉගැන්වීමේ ක්‍රම වැරදියි. උගන්නන ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය වෙලා නෑ. ඒ පුහුණුව හරියට පටන්ගෙන නෑ. ඉතින් ඒ කුමන්ත්‍රණයට මේ අය කැමතියි. ඉතින් මම කෙටියෙන්ම කිව්වොත්. ඉංග්‍රීසි අධ්‍යාපනය අසාර්ථක වීම මේ පන්තියේ සාර්ථකත්වය හැටියට මනින්නෙ. එතකොට ඒගොල්ලන්ගෙ වරප්‍රසාද රැකෙනවා.
අගමැතිතුමිය මේක පක්ෂ මට්ටමෙන් බලන්න එපා. ඔබතුමියට අපිව පිළිකුල් වෙන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. අධ්‍යාපනය වටිනවා. ඒ අධ්‍යාපනය වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනෙ. මම කඩේ යන නඩේටත් කියන්නෙ මේකයි කඩේ ගියා ඇති. නඩෙත් කතා කරා ඇති. මේ ප්‍රශ්නයට අපි මුහුණදෙමු. දැන් මගේ සහෘදයොත් ඉන්නවා. ඒගොල්ලොත් කියනවා අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනෙ කියල. හැබැයි අධ්‍යාපනය ආරක්ෂා කරන්නෙ කවුද? අධ්‍යාපනය ආරක්ෂා කෙරෙන්නෙ නැද්ද? ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ප්රශ්නය.