රට නැවත ගොඩනඟමින් වසර දෙකක් තුළ මීට වඩා හොඳ රටක් අපේ දරුවන් වෙනුවෙන් තිළිණ කරන බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක ප්රකාශ කරයි.
“ආර්ථිකයට සහ සමාජයට ආපදා තත්ත්වයෙන් විශාල බලපෑමක් එල්ලකර තිබෙනවා. අපි මේ වෙනුවෙන් සැලසුම් සහගතව කටයුතු කරනවා. ප්රමුඛ කටයුතු හඳුනාගෙන තිබෙනවා. ස්ථිරසාර සහ තාවකාලික කටයුතු හඳුනාගෙන තිබෙනවා.
හැම ප්රශ්නයක් දෙසම අපි මේ අවස්ථාවේ මේ දෘෂ්ටි කෝණයෙන් බලනවා. මේ හදිසි සහ තාවකාලික ප්රතිකර්ම දෙස වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මෙයි විනාශයට පත්වූ පැති විශාල ප්රමාණයක් තිබෙනවා.
යාපනය දිස්ත්රික්කයට වූ බලපෑම අඩුයි. කිලිනොච්චියට යම් බලපෑමක් ඇතිවුණා. වවුනියාව දිස්ත්රික්කයේ යම්කිසි බලපෑමක් වුණා. වැඩිම බලපෑම්වලට ලක්ව තිබෙන්නේ මන්නාරම සහ මුලතිව් වෙනවා. මන්නාරම දිස්ත්රික්කයේ ග්රාමසේවා වසම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ජනතාව දුෂ්කරතාවෙන් බේරා ගන්න කටයුතු කරමින් ඉන්නවා.
නයිනතිවුවල බෝට්ටු ගමනාගමනයට යම් යම් බාධා ආවා. අපි ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙනවා. මන්නාරම කුඹුරු අක්කර 35000ක් පමණ හානියට පත්ව තිබෙනවා. අපි ඉක්මනින් වන්දි දෙන්න පියවර ගන්නවා. උතුරු පළාතේ දිසාපතිවරුන්ට අපි උපරිම සහාය ලබාදෙනවා”