අල්ලස් කොමිසම කථානායක එරෙහි පැමිණිල්ලේ විමර්ශන ආරම්භ කරයි…!

February 8, 2026 at 10:22 am | by emanisa.lk

කථානායක ජගත් වික්‍රමරත්නට සහ පාර්ලිමේන්තුවේ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව අදාළ පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් කථානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා අටක් ඉදිරිපත් කර ඇත. ඉන්ධන දීමනා අනිසි ලෙස ලබාගැනීම, නිල වාහන අවභාවිතය, පාර්ලිමේන්තු මාධ්‍ය උපකරණ භාවිතය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ තොරතුරු ලබාදීමට බාධා කිරීම ඇතුළු චෝදනා ඒ අතර වේ.

ආර්. කන්නන් නැමැති අයෙකු විසින් චමින්ද කුලරත්නට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන්නේ ඔහු නියෝජ්‍ය මහලේකම් ධුරයට පත්වූ ක්‍රියාවලිය දූෂිත හා නීති විරෝධී එකක් බවයි.

පරීක්ෂණයේ මූලික පියවර ලෙස අදාළ පැමිණිලිවලට අදාළ ලිපිලේඛන පාර්ලිමේන්තුවෙන් කැඳවීමට කොමිසම තීරණය කර ඇත. එම ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කථානායකවරයාගෙන් සහ චමින්ද කුලරත්නගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

හිටපු පරිපාලන නිලධාරී එස්.කේ. ලියනගේ විසින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව, චමින්ද කුලරත්න අදාළ තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බවට තහවුරු වීම මත ඔහුගේ වැඩ තහනම් කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව මීට පෙර පියවර ගෙන තිබිණි.

මේ අතර, චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් මෙවැනි මැදිහත්වීම් හරහා අල්ලස් කොමිසමේ ස්වාධීන පරීක්ෂණවලට බාධා එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරුන් සිය කනස්සල්ල පළ කර සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස