අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමේදී වංචාවක් සිදුව නෑ…! – අල්ලස් කොමිසම…

September 21, 2025 at 9:53 am | by emanisa.lk

අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක 2014 වසරේ දී හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් සිටියදී තම දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමේදී අවිධිමත් ආකාරයට කටයුතු කර ඇති බවට අල්ලස් කොමිසමට ලැබී තිබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ විධානය පරිදී දූෂණ විරෝධි පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදුකළ බවත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාව ලබා දී කඩිනමින් විමර්ශනය කළ බවත් එම නිවේදනයෙහි සඳහන්ය.

ඒ අනුව අදාළ විමර්ශනයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ කොළඹ පිහිටි එම විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇති අතර අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන්ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවද නිරීක්ෂණය වූ බවද අල්ලස් කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බව කොමිෂන් සභාව තීරණය කළ බවද අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *