ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල තමාගේ බැවින් එම මුදල ලබා දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් ඊයේ (08) වැනිදා ඉල්ලීමක් කළේය.
සිය නීතිඥ හරිගුප්ත රෝහණධීර මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත අදාළ ඉල්ලීම කළේය.
මැයි 09 වෙනිදා සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්ව වෙත ලබා දීමට එම මුදල තබා ගෙන සිටි බවයි, නීතීඥවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
අදාළ මුදල් තොගය සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අධිකරණයේ වගකීම බවත්, එම මුදල් පිළිබඳව මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේද විමර්ශනයක් කිරීමේ හැකියාවක් පවතින බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඉකුත් 2022 ජුලි 9 වන දින අරගලය පැවැති අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් විසින් එම මන්දිරයේ 4 වන කාමරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉකුත් 6 වන දින ප්‍රකාශයක් සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.