අමරකීර්ති ඝාතකයන් 12 දෙනෙකුට මරණ දඬුවම….!

February 11, 2026 at 1:47 pm | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරුවන් වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) මෙම නියෝගය ලබා දුන්නේය.

2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කෙරිණි.

අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂකයා පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගරයේදී පිරිසක් විසින් අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල සටහන්ව තිබුණි.

මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් අද දිනට කල් තැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *