අපේ රට යටත් කරගෙන සිටි රටවලින් වන්දි ගන්න කටයුතු කරනවා…! – විදේශ ඇමති විජිත හේරත්..

February 7, 2026 at 11:15 am | by emanisa.lk

අපේ රට යටත්විජිතයක්ව පැවැති සමයේදී රටින් පැහැරගත් පුරාවස්තු මෙන්ම විනාශ කළ ජීවිත හා දේපළ වෙනුවෙන් අදාළ රටවලින් වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පවසයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ යෝජනාවක් පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

“2005 වර්ෂයේ පෘතුගීසීන් ලංකාව යටත් කරගෙන අවුරුදු 500ක් පිරීම නිමිත්තෙන් ලොකු සාජ්ජයක් පවත්වන්න තමයි එවකට හිටපු ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ. ලංකාවේ එවක අගමැති රනිල් වික්‍රමසිංහත් එකඟතාව පළකරලා තිබුණා. ඊට පස්සේ අපි ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන වේලාවේදී පෘතුගීසි තානාපතිවරයා ලංකාවට ඒ යෝජනාව ගෙනල්ලා තිබුණා. මම සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ එවකට හිටපු ඇමැති ලෙස පැහැදිලිවම ඒ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා.
අවුරුදු500 සමරනවා වෙනුවට පෘතුගීසීන් අපේ රට යටත් කරගෙන හිටපු කාලය තුළ අපේ රටින් පැහැරගෙන ගිය පුරාවස්තු, අපේ රටේ ජනතාවගේ දේපළ, ජීවිත හානි කරපුවාට වන්දි ලබාදෙන ලෙස අනිවාර්ය යෝජනාවක් ඉදිරිපත් කළා. අපෙන් පැහැරගෙන ගිය පුරාවස්තු නැවත ලබාදෙන්න එකඟතාව පළ වුණා. ඒ වගේම නෙදර්ලන්ත ආණ්ඩුවත් අපිට එකඟතාව පළ කරලා මේ වන විට පුරාවස්තු අවස්ථා දෙකකදී ලබාදුන්නා. තවත් ඉතිරි වී ඇති දේවල් ඉදිරියට ලබා දෙන්න එකඟතාව පළකර තියෙනවා.

ක්‍රමානුකූලව රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කරගනිමින් එහෙත් අපිව යටත් කරගෙන හිටපු කාලය තුළ අපෙන් පැහැරගත්ත පුරාවස්තු හා විනාශ කළ ජීවිත දේපළ වෙනුවෙන් වන්දි ලබාගන්න කටයුතු කරමින් තියෙනවා. විපක්‍ෂ නායකතුමා ඉදිරිපත් කළ කරුණු ඉතා වැදගත්. යෝජනාව ගැන අපි දැනටමත් කටයුතු කරමින් ඉන්නවා. ඉදිරියේදීත් ආර්ථික වශයෙන් වන්දි ලබාගන්න කටයුතු කරන්න සූදානම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *