යහපත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට නම් රාජ්‍ය සේවකයින් වන ඔබ රටට වැඩක් කරනවා යන හැගීමෙන් කටයුතු කරන්න යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
“රාජ්‍ය සේවයට පිරිස් වැඩි බවට චෝදනා කරනවා. නමුත් රාජ්‍ය සේවයේ ඇතැම් ස්ථානවල නිලධාරීන් වැඩි වශයෙන් සිටියත් සමහර ස්ථානවල ප්‍රමාණවත් නිලධාරීන් නැහැ. ඒ නිසා වත්මන් රජය ගුරුවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට හැත්තෑ හතර දහසක් රාජ්‍ය සේවය බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. වසර දහයක් පහළොවක් තිස්සේ ගොඩ ගැසුණු ප්‍රශ්න අද තිබෙන්නේ. වත්මන් රජය පසුගිය වසරේ වැටුප් වැඩි කළා. මේ වසරේත් මෙන්ම ඉදිරි වසරේදීත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා.
අපි දේශපාලනඥයින් ලෙස කැපකිරීම් කරන්නේ මේ රට වෙනුවෙනුයි. රාජ්‍ය සේවකයින් වන ඔබත් රටට වැඩක් කරනවා යන හැගීමෙන් කටයුතු කරන්න. එවිට යහපත් රාජ්‍ය සේවයක් බිහිවෙයි. අපි ආකල්ප වෙනස් කරගත යුතුයි. කිසියම් කෙනෙක් නීති ආධාර ලබා ගැනීමට නීතිඥ කෙනෙක් ළඟට එන්නේ ඇයි ? ඒ පුද්ගලයා නීති ආධාර ලබා ගැනීමට එන හේතුව පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඒ කෙනාට මහා ලොකු දෙයක්. ඔබගේ සහාය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සානුකම්පිතව සවන් දෙන්න. සවන් දීමෙනුත් ඔහුගේ ගැටළුවට සහනයක් ලැබෙනවා.
සෑම කෙනෙක්ටම ගෞරවයක් තිබෙනවා. රජයේ සේවය යනු හුදෙක් විශ්‍රාම වැටුපක් ගන්න දෙයක් නොවේ. තමන්ගේ රැකියාව පිළිබදව වගකීමෙන් ජනතාව ගැන කරුණාවෙන් සේවය කරන්න. අපේ රජය ඒ ගෞරවය ලබා දෙනවා. මුදල් තිබෙන පුද්ගලයාට එක් ක්‍රමයකටත් මුදල් නොමැති පුද්ගලයාට තවත් විදිහකටත් සැලකීම යුතු නැහැ.”
ඇමති හර්ෂණ නානායක්කාර මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවට බඳවාගත් නව කළමනාකරන සහකාර නිලධාරීන් 23 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමිනි.