අපි කවදාවත් අයවැයට පස්සේ වැඩ වර්ජන කළේ නෑ… අපි කළේ අයවැය ගේන්න කලින් විතරයි..! – ඇමති වසන්ත සමරසිංහ…

November 27, 2026 at 9:58 am | by emanisa.lk

තමන් විපක්ෂයේ සිටියදී අයවැයට පෙර මිස අයවැයට පසු කිසිම අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොගත් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

රතු ඉර දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අතීතයේදී ඔවුන් දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත වැඩවර්ජන ක්‍රියාමාර්ගවලට යොමු නොවූයේදැයි මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේය.

”අපි වෘත්තීය සමිති ව්‍යාපාරය අයවැයකට පෙර අයවැය සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. අයවැයකින් පස්සේ ආපහු ඊළඟ අයවැයට ලෑස්ති වෙනවා මිස අයවැය අස්සේ වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගත්තේ නෑ.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට පදනම හැදෙන්නේ අයවැය යෝජනා හදද්දී. අයවැය යෝජනා ඇතුළේ තමයි මේක ප්‍රකාශයට පත් කරගන්න ඕනේ. එහෙම නැතුව අයවැය යෝජනා ඉදිරිපත් කරාට පස්සේ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරා කියලා අයවැය යෝජනා වෙනස් කරන්න බෑ.”

තවදුරටත් ඉල්ලීම් සඳහා මුදල් වෙන් කිරීමට නම් නව බදු පැනවීමට හෝ දැනට වෙන්කර ඇති ප්‍රාග්ධන වියදම්වලින් මුදල් කපා හැරීමට සිදුවන බවත්, එසේ කළහොත් අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග සංවර්ධනය සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් වැනි ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම රාජ්‍ය සේවකයන් වැඩවර්ජන සඳහා කැඳවන බවට ඇතැමුන් ප්‍රකාශ කළද, මෑතක පැවති විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා විශාල පිරිසක් සහභාගී නොවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස