පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.
සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන උන්වහන්සේ, විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකු ද වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.