අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධීකරණයට…! වගඋත්තරකරුවන් අතර කාදිනල්තුමාත්….!

November 2, 2021 at 4:09 pm | by emanisa.lk

තමන් ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සාලේ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමා කියා සිටින්නේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් වහන්සේට හෙට (03) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදුකර ඇති බවය.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ප්‍රකාශය සටන් කර ගැනීමට නියමිතය.

ඉකුත් 25 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක දී තමන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් විමර්ශන සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පෙත්සමින් සඳහන් වේ. එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණි පියතුමා කියා සිටියි.

හෙට දින ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව පෙන්වා දෙන සිරිල් ගාමිණි පියතුමා, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බව ද කියාසිටී.

ඒ අනුව තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින සිරිල් ගාමිණි පියතුමා වග උත්තර කරුවන් ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස