අප දන්නා ඉතිහාසය තුළ අපේ ආදරණීය මාතෘභුමිය මුහුණ දුන් බරපතලම ආපදාවක් අබියස අප අද රැදි සිටින බව රහසක් නොවේ. සියලු භේද අමතක කොට එක්ව එයට මුහුණ දී එම විනාශය පරාජය කළ යුතුව ඇති බවද සත්‍යයකි.
ලෝකය තුළ හා ලංකාව තුළ සිදු කරන ලද විවිධ පාරිසරික අර්බුද හමුවේ නිර්මාණය වන දේශගුණීක විපර්යාසවලින් බේරීමටත් එම ආපදා සිදු වෙන ප්‍රදේශවල ජීවත් වන්නේ නම් ඒවාට අනුවර්තනය වීම කෙරෙහිත් අවධානය යොමු කිරීම මේ වනවිට අත්‍යවශ්‍ය කරුණකි. මේ පසුබිම තුළ රටේ ධරණීය පැවැත්ම වෙනුවෙන් ගත යුතු තිරණ රැසකි.ඉන් එක් වැදගත් තිරණයක් ලෙස මධ්‍ය කඳුකරයේ ඉහළම කොටසේ සියළු ඉදිකිරීම් ඉවත් කිරීමේ තිරණය සඳහන් කළ හැකි ය.අප දශක කිහිපයක් දිනා ගැනිමට උත්සහා කළ එම ක්‍රියාවලිය තිරණයකින් ඔබ්බට ගොස් භුමියේ යථාර්තයක් කර ගැනීම වැදගත් ය.
එවැනි අසිරු තිරණයක් ගැනීම සම්බණ්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුති කළ යුතු ය.එම තීන්දුව ක්ලීන් ශ්‍රී ලංකා වැනි විහිලුවක් බවට පත් නොවී ක්‍රියාත්මක කිරීම ජනපතිගේ වගකීමකි.මෙම අපදාව දැක දැකත් එය අමතක කර සිටි ආණ්ඩුවතට අඩු තරමින් මෙවැනි තීන්දුවක් ගැනීමේ වගකීමක් ඇත.
එලෙසම නායයාමේ විසල් අවධානමක් ඇති බවට NBRO ප්‍රකාශ කර තිබෙන අඩි 5000ට පහළ ප්‍රදේශවල ද සියලුම ඉදිකිරීම් ඉවත් කිරීම අනිවාර්ය වේ. ඒ හා බැඳුණු තවත් ගත යුතුම තිරණ රැසක් තිබේ.එම තිරණ ක්‍රියාත්මක නොකරන්නේ නම් රටේ ජනගහණයෙන් භාගයක් “දේශගුණීක සරණාගතයන්” (Climate refugees) වීම නතර කළ නොහැකි බව අප කීවේ මිට දශකයකටත් පෙර දවසක ය.එහෙත් කිසිදු බලයේ සිටි පාලකයෙකු මේ යථාර්තය තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත.
දැන්වත් මධ්‍ය කඳුකරය රැක ගත යුතු සන්දර්භයක් පැහැදිලිව පෙනෙන්නට තිබිය දී පවා අදටත් එය වනසන බව යමෙකු කිවොත් ඔබ පුදුම වනු නොඅනුමාන ය. එය වනසමින් සිටින්නේ අඩි 5000කින් උඩ සියලු ස්ථාන නැවත වන වගා කරන බවට ප්‍රකාශ කළ අනුරගේ ආණ්ඩුවෙන්ම වීම විසල් කනගාටුවකි.
ජනාධිපති අනුර මෙය දනනේ දැයි අපි නොදනිමු. නැතිනම් කාලගුණ අනාවැකි තේරුම් ගැනීමට නොහැකි වුවා සේම මේ ගැන දැන ගත්ත ද අවබෝධයක් නැද්ද යැයි ද අපි නොදනිමු. කෙසේ වුව ද මේ ඉදි වෙන්නට යන්නේ මධ්‍ය කඳුකරය දෙබෑ කරන නීතිවිරෝධි මාවතකි.
ඒ තංගප්පුව සිට කෝබස් ගැප් දක්වා ය. මෙම මාවත මිට පෙර අවස්ථා කිහිපයක දී ද කරළියට පැමිණ මතභේදයට තුඩු දුන් මාවතකි. මේ මාවත වැටි ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද නකල්ස් සංරක්ෂිත වනාන්තර පද්ධතිය තුළින් වීම තවත් කනගාටුවකි. එවැනි පරිසර පද්ධතියක් වනසමින් මේ ආකාරයට සිතු සිතු ලෙස මාර්ග ඉදිකිරීමේ නෛතික හැකියාවක් කිසිවෙකුටත් නොමැති බව ජනපති අනුරසේම ඔහුගේ කටු ළෙවකන සුනඛයන් ද තේරුම් ගත යුත්තකි.
ජනාධිපති කඳුකරය ආරක්ෂා කිරීමට කතා කරන අතරවාරයේ ඔහුගේම රජය මෙවැනි නීති විරෝධි මරි මෝල් වැඩක් කරන්නේ කාගේ අනුහසින්දැයි යන්න ද තවමත් පැහැදිලි නැත.
මෙම පරිසරය වනසන අනවසර මාර්ග ක්‍රියාවලිය සම්බණ්ධයෙන් මේ වනවිටත් යුනෙස්කෝ සංවිධානය දැනුවත් කිරීමට පරිසර යුක්ති කේන්ද්‍රය කටයුතු කර තිබේ. මෙම නීති විරෝධි කටයුත්ත වහාම නතර කිරීම සඳහා යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ හදිසි අවධානය සහ මැදිහත්වීම සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටීන බව එම ලිපියේ දක්වා තිබේ. එහි තවදුරටත් දක්වා ඇත්තේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ වාර්තා වී ඇති මෙම විනාශකාරි සංවර්ධනයන් පිළිබඳ හදිසි සමාලෝචනයක් පවත්වා ආරක්ෂිත කලාපය තුළ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම නතර කිරීමට බල කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ වන ලෙස ය.
මෙහි නීතිමය තත්ත්වය තේරුම් ගැනිම ද වැදගත් ය.ලෝක උරුමයක් ලෙස සේම ලංකාවේ හදබිම ලෙස විරුද්ධාවලිය ලද නකල්ස් වන පෙත වන ආඥා පනත යටතේ ද සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇත.මෙම ඊනියා මාර්ග ව්‍යාපෘතිය එම ආඥා පනත ද සෘජුවම උල්ලංඝනය කරයි.එම නීතිය අනුව මෙම කලාපය තුළ ඕනෑම මාර්ගයක් ඉදිකිරීම, පවතින මාර්ගයක් වෙනස් කිරීම හෝ වැඩිදියුණු කිරීම නොකළ යුතු දේයක් ලෙස දක්වෙ තිබේ.එලෙසම එම පනත අනුව සංරක්ෂිත වනාන්තර තුළ ඕනෑම ආකාරයක ඉඩම් එළිපෙහෙළි කිරීම, සංවර්ධනය කිරීම හෝ මාර්ග ඉදිකිරීම දැඩි ලෙස තහනම් කර ඇත.මෙම විධිවිධාන දැන හෝ නොදැන උල්ලංඝනය කිරීම සිර දඬුවම් සහ සැලකිය යුතු දඩ මුදල් ඇතුළු දැඩි දඬුවම් දිය හැකි වරදවල් ලෙස ද එහි දක්වා තිබේ.
එලෙසම 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24C සහ 24D වගන්ති යටතේ 2007.07.23 දිනැති අංක 1507/10 දරන ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් මගින් නකල්ස් වනපෙත ශ්‍රී ලංකාවේ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.එවැනි දෙස් විදෙස් නීතිමය ආරක්ෂාවක් පවතින අමිල වනපෙතක් වනසද්දී අනුරලාගේ ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි ද යන්න ප්‍රබල ගැටළුවකි.
වර්තමානයේ සිදුවෙන මහ පරිමාණ පාරිසරික විපත් පිටුපස ඇත්තේ මෙවැනි මුග්ධ තිරණ බව රහසක් නොවේ.මෙය දැන දැනම තවදුරටත් වනපෙත් වැනසීම සමාව දිය නොහැකි තරමේ බරපතල වරදකි. අවසන් වශයෙන් කිය යුත්තේ එකම කරුණක් පමණී.ඒ පරිසරය නඩු අහන දවසට කිසිවෙකුටත් එයින් ගැලවී යාමේ හැකියාවක් නැති බව පමණී.
නයනක රන්වැල්ල