අගරු චෙක්පත් දුන් නීතිඥයාට අත්හිටවූ සිරදඬුවම්… ලක්ෂ අටක දඩ සහ ලක්ෂ දහයක වන්දි ගෙවන්නත් නියෝග…!

February 1, 2026 at 2:17 pm | by emanisa.lk

ණය මුදලක් පියවීම සඳහා මුදල් නොමැති ගිණුමකින් රුපියල් ලක්‍ෂ අටක් වටිනා චෙක්පත් දෙකක් නිකුත් කළ චූදිත නීතිඥවරයකුට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වසර පහකට අත්හිටවූ බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ අටක දඩයක් නියම කළේය.

එයට අමතරව අපරාධයක වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ හා සහය ලබාදීමේ පනත යටතේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් ගෙවීමට ද නියම කළ මහෙස්ත්‍රාත්වරයා පෙරකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් මාස දහඅටක සක්‍රිය ලිහිල් සිරදඬුවම් ලබාදීමටද නියෝග කළේය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ගොනු කර තිබූ නඩුවක් විභාග කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ නීතිඥවරයාට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති පෙරකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් එම දඬුවම් නියම කළේය.

චූදිත නීතිඥවරයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්‍ෂ 100ක ණය මුදලක් ලබාගෙන ඇති බවත් ඇති කරගත් ගිවිසුම අනුව මුදල නිසියාකාරව නොගෙවීම පිළිබඳව විමසීමේදී අවස්ථා දෙකකදී එකී චෙක්පත් දෙක ලබාදී ඇති බවත් ගිණුමේ මුදල් නොමැති බව දනිමින් නිකුත් කළ එක් චෙක්පතක් අගරු වී ඇති බවත් අනෙක් චෙක්පත චූදිත විසින් කළ දැනුම්දීම අනුව බැංකුව විසින් ගෙවීම් අත්හිටුවා ඇති බවත් තම අධිකරණයට පැහැදිලි වන්නේ යැයි මහෙස්ත්‍රාත්වරයා එම තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *