අංගොඩ රෝහලේ රෝගියාට පහර දෙන CCTV දර්ශන අතුරුදන්…!

August 25, 2023 at 11:17 am | by emanisa.lk

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මානසික රෝගියෙකුට එම රෝහලේ සුළු සේවකයන් පිරිසක් පහර දී ඝාතනය කර ඇතැයි කියන සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් පරිගණකය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සතුව තිබියදී අතුරුදන්ව ඇත.

ඝාතනයට ලක්වූ රෝගියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊයේ (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත වෙත වෙත මේ බව දන්වා තිබේ.

පරිගණකය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය මෙම ඝාතනයේ සාක්ෂි යට ගැසීමක් දැයි සැකයක් පවතින බව ද ඔවුහු අධිකරණයට දැන්වූහ.

තව ද මෙම සිද්ධියට අදාළව පොලිස් භාරයට ගෙන තිබෙන සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් නඩු භාණ්ඩ මුල්ලේරියාව පොලිසිය මගින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව ද නීතිඥවරු අධිකරණය හමුවේ පැවසූහ.

එම නඩුව අධිකරණය හමුවේ ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී නීතිඥවරු මේ බව දැන්වූහ.

සිද්ධිය වූ දින අලුයම් කාලයේදී සැකකාර සේවකයන් පිරිස එම රෝගියාට පහර දී තුවාල සිදුකර ඇති අතර එදින රාත්‍රි 10.00 වන තෙක් ඔහුට රෝහල්ගත කර නොමැති බවට කරුණු හෙළි වන බව ද නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *