හොල්මන් ගුහාවේ මෘතදේහය නැගිටී…! නරඹන්නන් සමග වළියක්…! පිරිසක් අත්අඩංගුවට…!

June 6, 2023 at 11:01 am | by emanisa.lk

කුලියාපිටිය නගරාසන්නයේ පොසොන් කලාපයක තිබූ හොල්මන් මන්දිරයක මෘත දේහය හා පිරිසක් අතර ඇතිව තිබූ ගුටිකෙළියක් හේතුවෙන් අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය සුභාරතීපුර ප්‍රදේශයේ පැවති පොසොන් සැණකෙළි භූමියේ ස්ථාපිත හොල්මන් මන්දිරයක් තුළ මෘතදේහයක් ලෙසින් රඟපෑ අයෙකු හා ඔහු සමගින් ආරවුලක් ඇති කරගත් බව කියන පිරිසකි.

සැණකෙළිය පැවැත්වෙමින් තිබූ අතරතුර පැමිණ තරුණ කණ්ඩායමක් මූ මැරිලාද බලමු යන්න කියමින් කම්මුල ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කළ බව මෘතදේහයට පෙනීසිටි අය ප්‍රකාශ ලබාදුන් බව පොලිසිය කියයි. එහිදී තමන් එය ඉවසාගත නොහැකිව මිනී පෙට්ටියෙන් නැගිට පහරදුන් පුද්ගලයාට පෙරළා පහරදුන් බවත් පසුව එහි සිටි පිරිස් ඊට මැදිහත්වූ බවත් ඔහු පැවසීය.

මීට පෙර දිනයේද පැමිණි පිරිසක් තමන්ගේ හුස්ම සිරවන තෙක්ම නාසය මිරිකාගෙන සිටි බවත් පැවසූ මෘතදේහයට පෙනීසිටි අය වැඩිදුරටත් පවසා තිබුණේ එවැනි තාඩන පීඩන රැසකට මුහුණ දී තිබීම හේතුවෙන් එම මොහොතේ තමන්ට ඉවසාගත නොහැකිවූ බවයි.

පොලිසිය එම ස්ථානයට යන විටත් හොල්මන් මන්දිරය අපායක් බවට පත්වෙමින් තිබූ බවද පොලිසිය කියයි. එහිදී පාර්ශ්ව දෙකම පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

පසුව වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම හමුවේ එම මෘතදේහයට සිටි අය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් සිටි සිසුවකු බව හෙළිවීමත් සමගින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසූරිය්ගේ උපදෙස් මත පොසොන් පොහොය හා සැණකෙළි මෙන්ම පොසොන් පෝය හා හොල්මන් මන්දිරය පිළිබඳව පහදා දී සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *