සේවකයා වෙනුවෙන් කෝටි ගණනක මුද්‍රණ යන්ත්‍රය බිලි දුන් බෝසත් ව්‍යාපාරිකයා අසරණ වෙයි! ව්‍යාපාරය බැංකුවට සින්න වන ලකුණු!

March 20, 2019 at 3:20 pm | by admin

අම්පාර ප්‍රදේශයේ පිහිටි විශාලතම මුද්‍රණ ආයතනය මීට මාස කිහිපයකට පෙර රටම දැනගත්තේ එහි සේවකයකුගේ අත ආයතනයට අලුතින් ගෙන ආ මුද්‍රණ යන්ත්‍රයේ සිරවීම සහ එම යන්ත්‍රය කපා සේවකයා බේරා ගැනීම නිසාය. එකල මෙම ආයතන ප්‍රධානී මෙත්තානන්ද රූපසිංහ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ අතර ඔහු පිළිබඳ වර්ණනාවලින් මාධ්‍ය උතුරා ගියේය. ඔහු තම වටිනා යන්ත්‍රයට වඩා සේවකයා පිළිබඳ සිතා කටයුතු කළ නිසා බොහෝ කීර්ති ප්‍රශංසා ඇගයීම් ගලා ආවේය.

කෙසේ වුවද ඔහුගේ මෙම උදාර ගුණය නිසා ව්‍යාපාරික වශයෙන් ආයතනයට සිදු වූ පාඩුව සුළුපටු නොවේ. වර්ෂාවසාන කැලැන්ඩර් තොග ඇතුළු බොහෝ ව්‍යාපාරික කටයුතු අඩාල විය. ආයතනයේ වටිනාම යන්ත්‍රය අහිමි විය. මේ වන විට එම මුද්‍රණ යන්ත්‍රය රක්ෂණය කර ඇති සෙලින්කෝ රක්ෂණ සමාගම ඒ සඳහා වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ආයතනය ගනුදෙනු කළ සම්පත් බැංකුව සිය ණය මුදල් ගෙවා ගත නොහැකි වූ මුද්‍රණ ආයතනයේ දේපළ පවරා ගන්නා තැනට වැඩ යෙදෙමින් තිබේ. මෙවැනි ව්‍යාපාරිකයන්ට සමාජ සත්කාරයක් ලෙස සලකා විශේෂ සහනයක් ලබා දීමට මෙම කිසිදු ආයතනයක් කටයුතු කර නොමැති බව කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.

සිය ආර්ථික ලාභ මිස සේවකයන් පිළිබඳ තඹ දොයිතුවකට නොසිතන ව්‍යාපාරිකයන් සිටින රටක මෙවැනි ව්‍යාපාරිකයන් බේරා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති වීම අභාග්‍ය සම්පන්න අතර මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය ව්‍යාපාරය පරදුවට තැබූ ව්‍යාපාරිකයා අසරණ වී තිබේ. ආණ්ඩුව සැබවින්ම කළ යුත්තේ මේ සඳහා මැදිහත් වී එම ව්‍යාපාරිකයා අදාළ ගැටලුවලින් නිදහස් කර පැවති තත්ත්වය වඩා හොඳින් එම ව්‍යාපාරය කරගෙන යාමට අවස්ථාව සලසා දීමය. එහෙත් එවැනි මැදිහත් වීමත් සිදුවන බවක් පෙනෙන්නට නැත. මේ ව්‍යාපාරය බේරා ගැනීමට රජය මැදිහත් නොවන්නේ නම් මනුෂ්‍යත්වය අගය කරන ජනතාව එක් වී එම ව්‍යාපාරිකයාට මෙම ගැටලුවලින් නිදහස් වීමට උපකාර කොට අනාගතයේ එවැනි මානව හිතවාදී ව්‍යාපාරිකයන් බිහිවන තැනට වැඩ කළ යුතු බවට ෆේස්බුක් සමාජජාලාවල බොහෝ දෙනෙක් අදහස් පළ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *