සාසන සම්ප්‍රදාය හා පුටුවේ උස! – ත්‍රිපිටකාභිවන්දනාවේ අසුන් පැනවීම පිළිබඳ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පැහැදිලි කිරීමක්..

March 26, 2019 at 8:34 am | by admin

ත්‍රිපිටාභිවන්දනා රාජ්‍ය උත්සව සභාවේ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් දෙපළට උස් ආසන පැනවීම පිළිබඳ සමාජයේ කතාබහක් මතුව තිබේ. මෙහි දී බොහෝ විට අදහස් දක්වන්නේ බෞද්ධ සංස්කෘතික විරෝධී පිරිස්ය. වාමාංශික හෝ ලිබරල්වාදී අදහස් හිසින් ගත්තෝය. මොවුන් රටේ සම්ප්‍රදාය හුදෙක් කුල ප්‍රශ්නයට ලඝු කර අදහස් දක්වති. මේ ඒ අරබයා දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන් ලියූ සටහනකි.

1. මේ ඡායාරූපයේ සිටින මහ නායක හිමිවරුන් සිව් දෙනාම රදල ගොයිගම කුල පරම්පරාවන්ගෙන් පැවත එන්නන්ය. එබැවින් පුටුවේ උස සහ කුලය අතර සම්බන්ධයක් නැත.

2. මල්වත්ත – අස්ගිරිය කුලයෙන් උසස් ය, අමරපුර – රාමඤ්ඤ කුලයෙන් පහත්ය යන්න පට්ටපල් බොරුවකි. උදාහරණයක් ලෙස රාමඤ්ඤ නිකායේ ආසන්නයේ සිටි මහ නායක හිමිවරුන් සියලු දෙනා (නාපානේ හිමියන්, වේවැල්දෙණියේ හිමියන්, බද්දේගම හිමියන්) රදළ කුල පරම්පරාවන්හි උපත ලැබූවන්ය.

3. උස් පුටු නම් ‘ඉහළ කුලේ’ මිටි පුටු නම් ‘පහත කුලේ’ කතාව පට්ටපල් බොරුවකි. එක්කෝ නොදැන කියන කථාවකි. භාගයට දැනගෙන කියන කථාවකි. නැතිනම්, බුදු සසුන ගැනත්, ත්‍රිපිටකාභිවන්දනාවේ සාර්ථකත්වයට දේශපාලනය ගාවා ගැනීම තුලින් ලියන ප්‍රලාප අදහසකි.

4. ලංකාවේ සාසන සම්ප්‍රදායේ දී උත්සවයක ප්‍රධානත්වය ලැබෙන්නේ තනතුරට අනුව මිස වයසට අනුව නොවේ. උදාහරණයක් ලෙස මඩිහේ ප්‍රඥාසීහ හිමියන් ද, මා උපන් ගමේ වැලිමඩ විදුරුපොල පියතිස්ස හිමියන් ද මහ නායක පදවියට පත් වූයේ සාපේක්ෂව ඉතා අඩු වයසිනි. නමුත්, උන්වසන්සේලා අනෙකුත් වයස්ගත හිමියන් සිටිය දී, මුලසුන දරමින් උත්සව පැවැත්වීය. සාසන සම්ප්‍රදාය එයයි.

5. දළදා මාලිගාව ද පන්සලකි. සාසන සම්ප්‍රදාය අනුව ගමේ පන්සලක් වගේමය. අනෙක් පන්සල්වල මෙන් නොව එහි භාරකාරත්වය මල්වත්ත හා අස්ගිරිය පන්සල් දෙකට වසරින් වසර (වෙසක් මාසයේ දී) මාරුවේ. නිකායේ මහ නායක සිටිය දී පන්සලේ උත්සවයක නායකත්වය වෙනත් කිසිම භික්ෂුන් වහන්සේ නමකට හිමිවන්නේ නැතිකම ද සාසන සම්ප්‍රදායයි. සාසන නිකාය ඇරඹුවේ කුලය මත පදනම්ව නොව, උපසම්පදා සම්ප්‍රදාය මතය. උපසම්පදාව ලැබුණු තැන (බුරුමය, තායිලන්තය) අනුවය.

6. සියම් රටින් උපසම්පදාව පැමිණි පසු රජ්ජුරුවන්ගේ මල් උයන පිහිටි තැන (ග්‍රාමවාසී පන්සල), එනම් මල්වත්ත පන්සල ඇරඹිණි. එදා, ග්‍රාමය තිබු අනුරාධපුර, කිරිවෙහෙර ආසන්නයේ පන්සල් සියල්ල අදත් මල්වත්තට අයත්ය. උඩවත්ත කැළේ වනවාසීන්ගේ ‘අස්ගිරිය පන්සල’ ඇරඹිණි. පොළොන්නරුව, මහියංගනය, මුතියංගනය ආදී කැලෑ ආශ්‍රිතව පන්සල් බහුතරය අදටත් අස්ගිරියට අයත්ය. මල්වත්ත – අස්ගිරිය කියන්නේ ග්‍රාමවාසී – වනවාසී භික්ෂු පරම්පරා දෙක මිස ‘කුලය’ සාධකය මත හැදුණු නිකාය නොවේ. ‘ප්‍රොටකෝල් වයිස්’ සෑම විටට ‘මල්වත්ත – අස්ගිරිය’ වන්නේ ද ඒ නිසාය. අස්ගිරියේ තියෙන උත්සවයක දී වුව ද, ‘අස්ගිරි – මල්වත්ත’ යැයි කියන්නේ හෝ අවසර ගන්නේ නැත. රාජ්‍ය උත්සවයක දී ද එසේම බව ඒරානන්ද හෙට්ටිආරච්චි වැනි අයගෙන් වුවද අසා දැන ගත හැකිය.

7. උපසම්පදාව සඳහා බොහෝ දුර බැහැර ගෙවා කෝට්ටේ – රුහුණු පළාත් වෙත යාමේ දුෂ්කරතාව නිසා කෝට්ටේ පාර්ශවය – රෝහණ පාර්ශවය ඇරඹූ බවත්, අදටත් එම නිකායන් තමන්ගේ නායක හිමිපාණන් වහන්සේ ලෙස මල්වත්ත මහ නායක හිමියන් සලකන බවත් අප අමතක නොකළ යුතුය. (උපසම්පදාව සඳහා කරත්ත 5-6 ක බඩු රැගෙන යා යුතුය. එය සිදු කරන්නේ වෙසක් – පොසොන් පෝය දෙක අතරය.) කෝට්ටේ සිට මහනුවරට යාමත්, රුහුණේ සිට මහනුවරට යාමත් කොතෙක් දුෂ්කර වන්නට ඇති ද? ‘අම්බලං නිකාය’ යන යෙදුම බිහිවන්නේ ද මේ දුෂ්කර ගමනේ කථාවකිනි.

8. අමරපුර නිකායට පාර්ශව 28 ක් තිබේ. මා හැදී වැඩුණේ උඩුකිඳ අමරපුර නිකායේ පන්සල් ඇසුරේ ය. උඩරට අමරපුර ඇතුලු පන්සල් රැසක් අප ගම වටේ තිබේ. (නුවරඑළියේ චන්දජෝති මහ නාහිමිගේ කෘති කියවා බලන්න) ‘ගොයිගම’නිකාය යැයි කියන තැන දැන් ඕනෑ තරම් වෙනත් කුලවල දරුවන් මහන වී ඇත. අමරපුර නිකායේ පාර්ශව 28 එකතු වී එහි උත්තරීතර නායකත්වයට මඩිහේ පඥ්ඥාසීහ මහනාහිමියන් පත් කර ගනු ලැබීය. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හිමියන් අමරපුර එක් පාර්ශවයක මහ නායක ධූරය දරන විට ම, මඩිහේ මහ නායක හිමියන් අමරපුර පාර්ශව 28 ටම එනම්, ‘අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහ නායක’ පදවියට පත් විය. අපවත්වී වදාල දවුල්දෙන ඥාණීස්සර මහ නා හිමියන් ද, අද කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන් ද දැන් දරන්නේ මහ නායක පදවිය නොව ‘අමරපුර සංඝ සභාවේ’ උත්තරීතර මහ නායක තනතුර ය.

9. රාජසිංහ රජතුමා සංඝරාජ හිමියන් බැහැදැකීමට ගිය කල තමන්ට සේවා සැපයූ පහත් යැයි සම්මත කුලයක භික්ෂුණ්වහන්සේ නමක ‘රජුගෙන් වැඳුම් ලැබීම වෙනුවට රජුට වැඳ වැටීම’ නිසා පහත් යැයි සම්මත කුල දරුවන් මහන නොකරන්න යැයි වදාළ බවට කථාවක් ඉතිහාසයේ ඇත. එතකොට 1850 දක්වාම ලංකාවේ අඩු කුලවල අය මහන වූයේ නැති ද? නිකාය හා කුලය අතර ඔය බොහෝ දෙනා පෙන්වා දෙන්නට හදන අවිච්චින්න සම්බන්ධයක් නැත. හැබැයි නිකාය සමග බැඳුණු සාසන සම්ප්‍රදායක් හා ව්‍යවහාරයක් නම් ඇත. (සැබවින්ම ඉතිහාසය දන්නා නිර්මාල් දේවසිරි, අනුර මනතුංග වැනි අයට මේ සංවාදය ඇරඹිය හැකිය)

10. 1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උපෝසථාගාරයේ දී (උදකුක්ඛේප සීමාවෙහි) උපසම්පදා කර්මය සිදුකිරීමෙන් පසුව ඇරඹුණු රාමඤ්ඤ නිකායේ පළමු මහනායක හිමියන් වන අඹගහවත්තේ සරණංකර හිමියන් උපතින් සලාගම කුලයට අයත් විය. රාමඤ්ඤ නිකාය සලාගම, කරාව වැනි කුල වල (එනම් ගොවි කුලයෙහි නොවන) පුද්ගලයන් මහන කර ගනු ලැබීය. ඒ ඉතිහාසයයි. රාමඤ්ඤ නිකායේ මෑත කාලීන මහ නායක හිමිවරුන්ගේ කුල පරම්පරා ගැන පර්යේෂණයක් සිදු කරන්නේ නම්, ‘උස් පුටු – මිටි පුටු’ කතාවේ බොරුව හෙළිදරව් වනු ඇත්තේය.

11. මම ‘සාසනික නොව දේශපාලනික හේතු මත’ පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නායක හිමියන් සමීපව ඇසුර කර ඇත්තෙමි. බොහෝ දෙනා සිතූ පරිදි උන්වහන්සේ මහ නායක පදවියට පත් වූයේ නැත. නමුත්, ගිරාඹේ අනු නායක හිමියන් පන්සල් 300 කට වැඩි සංඛ්‍යාවක් සහිත “සරානන්ද සභාවෙ” හි නිල නොවන මහ නායක හිමියන් වූවේය. කුලය ගැන ඒ කතාව වෙනත් එකකි. මා මේ කියන්නේ ‘ත්‍රිපිඨකාභිවන්දනාවේ ඡායාරූපයෙන්’මේ කුලය අල්ලාගෙන ඇත්තේ වැරදි – පදනම් විරහිත තැනකින් බව කියන්නටය.

12. ත්‍රිපිඨකාභිවන්දනා උත්සවය පැවතියේ ‘මහනුවර මගුල් මඩුවේ’ නොවේ. පූජ්‍ය සියඹලන්ගමුවේ ගුණරතන හිමියන්ගේ නායක උත්සවයෙන් පසුව මගුල් මඩුවේ උත්සව පවත්වන්නේ මහ නායක, අනුනායක පදවි සඳහාත් රාජ්‍ය නායක උත්සව සඳහාත් පමණී. කුලය – සාසන සම්ප්‍රදාය ගැන විද්වත් කථිකාවක් අවශ්‍ය නම්, අපට එය ඇරඹිය හැකිය. අවශ්‍ය නම් එය සියඹලන්ගමුවේ සිද්ධියෙන් ඇරඹිය හැකිය.

13. උස් පුටු – මිටි පුටු ඡායාරූපය ගැන ලියා ඇති බොහෝ කථා විල්පත්තුව ගැන ලියා ඇති දේට වෙනස් නොවේ. ඔය ඡායාරූපයේ සිටින මහ නායක හිමිවරුන් සිව් දෙනාම ඉහළ කුල උප්පත්තිය ලැබූ අය වෙති. නොදන්නා කුලයක් පටලවා ගෙන සංඝ සමාජයට අවමන් නොකරත්වා!

14. ලංකාවේ භික්ෂු සාසනය නැතිවී ගොස් (හාමුදුරුවෝ නැතිවීම නොව උපසම්පදා වූ භික්ෂූන් වහන්සේලා නොමැතිව) පරිහානියට පත් වූ සමයක ‘ගණින්නාන්සේලා’ පොත්පත් විහාරස්ථාන ආරක්ෂා කරගෙන ජීවත් වී ඇත. වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන් මේ සාසන ව්‍යසනය දැක සාසනය පිළිබද ගවේෂනයක් කර, ‘සිල්වත් සමාගම’ අරඹා සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන්වීය. එහි මුලස්ථානය සරණංකර හිමියන්ගේ මල්වත්ත පන්සලයි. රජ සමයේ සිටම අදටත් මල්වත්තට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඒ අනුවය. දෙවන තැන ලැබෙන්නේ අස්ගිරියට ය. ඒ ඇරඹි පිළිවෙළ අනුව මිස කුලය අනුව නම් නොවේ.

15. බුද්ධ සාසන අමාත්‍යාංශයේ අදටත් නව නිකාය දෙකක් ස්ථාපනය කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් වී ඇත. එයට හේතුව කුමක් ද? පාර්ලිමේන්තු පාරේ කිඹුලා ඇළ අසල නව සීමා මාලකයක් නිර්මාණය කර ඇත. (ඔව් අර ගිලා බැස්ස, දැන් නැවත ප්‍රතිසංස්කරණය කර ඇති ස්ථානයයි.) කුලය ලංකා බුද්ධ සාසනයට පැටලෙන්නේ වෙනත් තැනකිනි! එය සොයා ගැනීමට නම්, පොතක් පතක් කියවා, අසා දැන ගත යුතුය.

16. කුලය සාසනයට වඩා බැදී ඇත්තේ දේශපාලනයට ය. කෑගල්ල, රත්නපුර, අනුරාධපුර, හම්බන්තොට, ගම්පහ, කුරුණෑගල, මහනුවර, ගාල්ල, මාතර දේශපාලනයේ මනාප ඡන්ද බැදී ඇත්තේ කුල දේශපාලනයෙනි.

17. මනාප දේශපාලනයේ කුල සාධක වෙනුවෙන් ෆෙස් බුක් කැම්පේන් කරන උදවිය, සාසනයේ කුල සාධකය ‘උස් පුටු – මිටි පුටු’ හරහා විග්‍රහ කරන විට මට නම් ඇත්තේ අප්පිරියාවකි.

ප.ලි. 1. මේ අවස්ථාවට පෙර මහ නායක හිමිවරුන් සිව් දෙනා එකම ස්ථානයකට පැමිණියේ යුද්ධය අවසන් වූ පසුව පැවති උත්සවයේ දී ය. එයින් පසුව, සිව් නිකායේ නා හිමිවරුන් එක් වූ පළමු අවස්ථාව තවත් ජාතික වැදගත්කමක් සහිත මේ අවස්ථාව ය.

2. දළදා මාලිගාවේ මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් පමණක් වාඩි වන කවිච්චි දෙකක් ඇත. කාරක සංඝ සභාව පමණක් වාඩිවන අසුන් ඇත. මේ කුල ප්‍රශ්නයක් නොව සාසන සම්ප්‍රදායයි.

රජිත් කීර්ති තෙන්නකෝන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස