සත්ව සුභ සාධන පනතට කැබිනට් අනුමැතිය..! බල්ලෙකුට ගලක් ගැහුවොත් දඩය රු. 125, 000යි…!

January 12, 2022 at 3:10 pm | by emanisa.lk

සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළහොත් ඊට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

සත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි.

සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්, මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව ඇමැතිවරයා කීවේය.

මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනත වන අතර එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *