වහාම පළාත් සභා ඡන්දය පවත්වනු! ජනපති එසේ නොකියනු!- ජවිපෙ

January 19, 2019 at 10:18 am | by admin

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි ජනාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළත් එය පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ ආණ්ඩුවම බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි.

එම මැතිවරණය පැවැත්වීමට තාක්ෂණික බාධාවක් ඇති බව පවසන මන්ත්‍රිවරයා පැරැණි හෝ අලුත් මැතිවරණ ක්‍රමයට වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට තම පක්ෂය බල කර සිටින බවයි.

ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය පැවැත්විය යුතු යැයි මාධ්‍ය ඉදිරියේ පම්පෝරි ගැසීම නැවැත්විය යුතු බවද කීය.

සම්මත වී ඇති නව ඡන්ද ක්‍රමයට ඡන්දය පවත්වනවා නම් සීමානිර්ණ කොමිෂන් සම්මත කරගත යුතු බවත් පැරැණි ක්‍රමයට යනවා නම් එය පාර්ලිමේන්තුවේ යෝජනාවකින් සම්මත විය යුතු බවත් පැවැසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඡන්ද ක්‍රමය කුමක් වුවත් වහාම මැතිවරණය පැවැත්විය යුතු බවයි.

කෙසේ වුවද දැනට විසුරුවා නැති පළාත් සභා තුන ද විසුරුවා පළාත් සභා නවයේම මැතිවරණ එකවර පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස