රාජ්‍ය ඇමැති මාමා ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්…!

September 25, 2023 at 3:05 pm | by emanisa.lk

රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය කළේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ නියෝග මත ඔහුගේ ගෝලයින් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම ව්‍යාපාරිකයා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළ දී පෙරේදා (23) රාත්‍රි හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබිණි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා රත්ගම විදුර නමැති පාතාල නායකයා සමඟ සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී අතර දැඩි වෛරයක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ගාල්ල නගර මධ්‍යයේ විශාලතම රෙදිපිළි අලෙවිසලේ හිමිකරු වන ලලිත් වසන්ත මෙන්ඩිස් සිය ව්‍යාපාරික ස්ථානය වසාදමා මෝටර් රථය පදවාගෙන තනිවම නිවස බලා යමින් සිටියදී ගාල්ල බිංගේ කන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් දෙදෙනකු රථයේ පිටුපස වීදුරුවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා සිය මෝටර් රථය මාර්ගය අසල නතර කරනවාත් සමඟම යතුරුපැදියෙන් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනා ඔහුගේ හිසට හා පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල කර පලාගොස් තිබේ. ප්‍රහාරයෙන් පසු නගරවාසින් විසින් ව්‍යාපාරිකයා රෝහල්ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ වන විට ඉතාලියේ සැඟවී සිටින පාතාල නායක රත්ගම විදුර, පසුගිය දිනවල අම්බලන්ගොඩ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී කොස්ගොඩ සුජීගේ ඥාතීන් සහ ඔහුගේ කල්ලියේ සාමාජිකයන් කිහිප දෙනකුට ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවවලට එකට එක කිරීමක් ලෙස මෙම ව්‍යාපාරිකයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ඝාතනයට ලක්වූ ලලිත් වසන්තගෙන් මීට ටික කලකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ද ලබාගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස