රට කලාපවලට බෙදන්න මහින්ද සහය දුන්නා. ඒ නිසා ඒකීය රාජ්‍යය තුළ බලය බෙදුවට කමක් නෑ!

January 21, 2019 at 5:05 am | by admin

රට කලාපවලට බෙදා කලාප සංගමයක් බවට පත් කිරීමට මුලින්ම සහයෝගය ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කෙළේ ගාල්ල, කරගොඩ, යක්කලමුල්ල, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝා වාසය සහ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (19) සහභාගී වෙමිනි.

උත්සව සභාව අමතා එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවමිය.

තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරිය යුතුය යන ස්ථාවරයේ අඛණ්ඩව සිටිනවා. ඒකීය රාජ්‍ය ආරක්ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට සහයෝගය ලබාදීමට සූදානම්. නමුත් ඉන් බැහැරව ඉදිරිපත් කරන කිසිදු වැඩපිළිවෙළකට මගේ සහයෝගය ‍ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා කලාප ක්‍රමයට සහයෝගය දක්වන අවස්ථාවේ අපි එතුමාගෙන් මේ ගැන විමසුවා. නමුත් එතුමා ප්‍රකාශ කෙළේ එයින් රට බෙදෙන්නේ නැති බවයි. එසේ නම් කවුරුන් හෝ කලාප ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කළොත් එමඟින් රට බෙදෙන බව එතුමාට කියන්නට බැහැ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස සර්ව පාක්ෂික සමුළුව පිහිටුවමින් එදා ප්‍රකාශ කෙළේ තමාට වුවමනා උපරීම බලය බෙදාහරින බවයි. එදා එතුමා තෛපොංගල් උත්සවයේ දී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරමින් කියා සිටියේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට එකඟවිය හැකි ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි. මේ එකක්වත් රට බෙදෙන ඒවා කියා අපට කියන්නට බැහැ. අද මට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මගේ ස්ථාවරය වෙනස් කර ගන්නේ නැහැ කියා. හැම කෙනෙක්ම කියනවා හැමදාම ඒකීය රාජ්‍ය ස්ථාවරයේ ඉන්නවා කියා. එදා ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලා ද ඒකීය රාජ්‍ය ස්ථාවරයේ සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස තිබිය යුතු බවට රජිව් ගාන්ධි මැතිතුමාගෙන් පවා අත්සන් ලබා ගත්තා.

ඊට පසු රණසිංහ ප්‍රේමදාස, ඩී,බී. විජේතුංග මැතිතුමන්ලා ද ඒකීය රාජ්‍යය ස්ථාවරයේ සිටියා. මගේ ස්ථාවරය ද එයයි. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම සිදු කළ යුතුයි.

හිටපු ජනාධිපතිතුමාට මේ ස්ථාවරයට පැමිණිය හැකි නම් මගේ ස්ථාවරය වී තිබෙන්නේ ඒකීය රාජ්‍යය තුළ බලය බෙදා හැරීමයි. ඒකීය රාජ්‍යය ආරක්ෂා කරමින් ඉදිරිපත් කරන ඕනෑම වැඩපිළිවෙළකට අපේ සහයෝගය ලබා දෙනවා. ඉන් පිටස්තර කිසිදු වැඩපිළිවෙළකට අපේ සහය ලබා දිය නොහැකියි.

මේ ප්‍රශ්නය විසඳීමට හැකි අයට එය විසඳීමට ඉඩදිය යුතුයි. මම කිසිදාක රට බෙදෙනවා, රට කැඩෙනවා කියා බොරුවට කෑ ගහන්න යන්නේ නැහැ. විහාරස්ථානයකට පැමිණි අවස්ථාවකදී හෝ වෙනත් ස්ථානවලදී හෝ කතා කළ යුතු බොහෝ දේ තිබෙනවා. දේශපාලනඥයන් වශයෙන් අප කිසියම් ප්‍රකාශයක් කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතිකාවක් ඇතිව තිබෙන මේ අවස්ථාවේ රට බෙදෙනවා, රට කැඩෙනවා කියා බොරුවට කෑගැසීමෙන් කිසිඳු පළක් නැහැ. ප්‍රශ්නයට සැබෑ ලෙස මුහුණ දී ඊට සැබෑ විසඳුම් සෙවිය යුතුයි. මේ අවස්ථාවේදී මල්වතු මහානායක ස්වාමීන් වහන්සේගේ උපදෙස සහ අනුශාසනා ලබා ගෙන ගැඹුරින් සිතා බලා අප හැමෝම කටයුතු කළ යුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස