යල්පැන ගිය සමාජවාදයට රටක් ගොඩනඟන්න බෑ…! – සජිත්…

May 1, 2023 at 8:33 am | by emanisa.lk

අසාර්ථක ලුම්පත් ධනවාදයෙන් හෝ යල්පැන ගිය සමාජවාදයෙන් රටක් ගොඩනැඟිය නොහැකි බව, යථාර්ථය වන අතර එය කළ හැක්කේ සද් ජාතිකත්වය පදනම් කරගත් මැද මාවතේ ගමනකින් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ කියා සිටියේ මැයි දින පණිවුඩයක් නිකුත් කරමිනි.

ලොව පුරා සිටින වැඩ කරන ජනතාව සෑම වසරකම මැයි 1 වන දා ඔවුන්ගේ සම්ප්‍රදායන්, ඉතිහාසයන් හා ජයග්‍රහණයන් සමරති. 1886දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා චිකාගෝ නුවර කම්කරුවන් ජීවිත පූජා කරමින් සිදුකළ ඓතිහාසික අරගලය සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සමරන අතර ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාව ද එම ඓතිහාසික දිනය සිහිපත් කරනු ලබයි.

රටක් ලෙස බලවත් අර්බුදයන් රැසකට මුහුණ දී සිටින තත්වයක් තුළ අපේ රටේ වැඩකරන ජනතාවට ද ද ලෝක කම්කරු දිනය සමරන්නට සිදුව ඇති අතර එය වසර කිහිපයක් තිස්සේ පැමිණි අදූරදර්ශී පාලනයක් විසින් ඇතිකළ හිතුවක්කාරී අන්තනෝමතික බවේ ප්‍රතිඵලයකි.

අසාර්ථක ලුම්පත් ධනවාදයෙන් හෝ යල්පැන ගිය සමාජවාදයෙන් රටක් ගොඩනැඟිය නොහැකි බව යථාර්ථය වන අතර එය කළ හැක්කේ සද් ජාතිකත්වය පදනම් කරගත් මැද මාවතේ ගමනකින් පමණි.

අන්තවාදයෙන් තොර, වර්ගවාදයෙන් තොර,ත්‍රස්තවාදයෙන් තොර ශ්‍රේෂ්ඨ රටක් ලෙස අපේ රට ගොඩනැඟීමේ අභියෝගය භාරගත හැකි එකම බලවේගය සමඟි ජන බලවේගය වන අතර එකී විශ්වසනීය වැඩපිළිවෙළ සමඟ ශක්ති සම්පන්න කඳවුරක් ගොඩනැඟීම උදෙසා එක්වන ලෙස දේශීය සමස්ත වැඩ කරන ජනතාවට ගෞරවයෙන් සහ අභිමානයෙන් ආරාධනා කර සිටිමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස