මාලි බෝම්බ ප්‍රහාරයට ශ්‍රී ලංකා සෙබළු දෙදෙනෙක් බිලි

January 26, 2019 at 12:45 am | by admin

බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්‌සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී කටයුතුවල නිරතව සිටියදී අධිබලැති බෝම්බ ප්‍රහාරයකට ලක්‌ව ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු ඇතුළු දෙදෙනකු මියගොස්‌ තවත් තිදෙනකු තුවාල ලබා ඇත.

මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී ඊයේ (25 වැනිදා) මෙම හමුදා නිලධාරීන් ගමන් ගත් සංග්‍රමික රථයකට එල්ල වූ වැඩිදියුණු කරන ලද දුරස්‌ථ පාලකයකින් ක්‍රියාත්මක කරන ලද අධිබලැති බෝම්බ ප්‍රහාරයකට මෙසේ මොවුන් ගොදුරු වී තිබේ.

එහිදී කපිතාන්වරයා ඇතුළු දෙදෙනකු මියගොස්‌ ඇති අතර, තවත් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා ඇත. මාලි රාජ්‍යයේ වේලාවෙන් ඊයේ උදේ 6.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් සංග්‍රමික රථයකින් මෙම හමුදා සාමාජිකයන් ගමන් කර ඇති අතර, එම මෙහෙයුමට එක්‌ව තිබූ තවත් සංග්‍රාමික රථයකට ද හානි සිදුවී ඇත.

කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී. ජයවර්ධන (පොළොන්නරුව), කෝප්‍රල් විජයකුමාර් (පොල්පතිගම) නමැති හමුදා සාමාජිකයන් මෙසේ මියගොස්‌ තිබේ.

ලාන්ස්‌ කෝප්‍රල්වරුන් වන පුෂ්පකුමාර සහ චන්ද්‍රසේකර සහ කුමාරසිංහ යන හමුදා සාමාජිකයන් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත. මාලි රාජ්‍යයේ එක්‌සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මූලස්‌ථානය විසින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස