මහනුවර බූවැලිකඩ අනුර ලෙව්කේ බන්ධනාගාරයට! තුන් මහලකට අනුමැතිය අරන් පස් මහලක් හදලා!

September 30, 2020 at 10:03 am | by emanisa.lk

මහනුවර බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේ ඔක්තෝබර් මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

මෙම සැකකරු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. නොසැලකිලිමත් ඉදිකිරීම් ක්‍රියාවකින් තිදෙනකුට මරණ සිදු කිරීම සහ නිවාස කිහිපයකට අලාභහානි සිදු කිරීම යන චෝදනා යටතේ මහනුවර පොලිසිය සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

තට්ටු තුනක් පමණක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබිය දී නිවසේ හිමිකරු එම සැලසුම්වලට පිටින් යමින් මහල් පහක ගොඩනැගිල්ලක් ඉදි කර තිබෙන බවත් එහි අත්තිවාරම මහල් පහක බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බවත් පරීක්ෂණ මගින් හෙළි වූ බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ සඳහන් කරයි.

මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර පොලිසිය මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය, භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් ගොඩනැගිල්ල සම්බන්ධ වාර්තා ලබාගෙන තිබිණි. මෙම නඩුවේ දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමය පෙනී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *