බුද්ධි අංශ ප්‍රධානියා කෝලං සභාවට ගෙනැල්ලා සහරාන්ලට වඩා විනාශයක් කරන්නයි ආණ්ඩුව හදන්නේ! – විමල්

July 16, 2019 at 2:59 pm | by emanisa.lk

මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ කැඳවා සහරාන්ලාට වඩා වැඩි ප්‍රහාරයක් රටේ ජාතික ආරක්ෂාවට එල්ල කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

“තිස්වසරක යුද්ධයක් නිමා කළ රටක ජනතාව, නිදහසේ හුස්ම ගනිමින් සිටියදී තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වුණේ. එය සුළුවෙන් සැලකිය හැක්කක් නොවේ. ඒ පිළිබඳව සොයා බලන්න ආණ්ඩුව ‘නල්ලමලේ නඩුකාර කට්ටලයක්’ පත්කර තිබෙනවා. ඒ කෝලං කාරක සභාවේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වූ ඊබ්‍රාහිම්ගේ පක්ෂයේ නලින්ද ජයතිස්ස ඉන්නවා.”

“නැගෙනහිර පළාතේ ඉන්න සුෆී මුස්ලිම්වරුන් සහරාන්ගේ අන්තවාදී ක්‍රියා පැමිණිලි කරද්දී ඒවා යට ගසා ඔහු සමග ගිවිසුම් ගහපු රවුෆ් හකීම් ඉන්නවා. කල් ඉකුත් වූ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මේ රටේ ජනතාවට පොවපු ‘සුවපති’ ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයා ගැන මම මොකුත් කියන්නේ නැහැ.”

“මේ අය අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය ඉදිරියට දමාගෙන ‘රියැලිටි ෂෝ’ පෙන්වමින් ජනතාවගේ අවධානය වෙනතකට හරවන්න හදනවා.

“‘මිලේනියම් සිටි’ මහා පාවාදීම සිදු කරපු, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමා, බුද්ධි මෙහෙයුම් බිඳ දැමූ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය දැන් සැරසෙන්නේ එවැනිම මහා පාවාදීමක් සිදු කරන්නයි. දැන් මේ රටේ ‘කෝලං කාරක සභාව’ ඉදිරියට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවන්නයි සූදානම් වෙන්නේ.”

“මෙතෙක් කිසිවකු හඳුනානොගත්, එක්තරා ආකාරයක අර්ධ රහසිගත ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇති, මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස මේ ‘රියැලටි ෂෝ’ එකට ගෙනැවිත් ප්‍රශ්න කළාම මොකද වෙන්නේ? ඔහු රට හමුවේ පමණක් නොවෙයි ලෝකය පුරාම අනාවරණය කෙරෙනවා.”

“ඔහු සතුව ඇති සංවේදී බුද්ධි තොරතුරු රැසක් විමසා මෙරට බුද්ධි මෙහෙයුම් ජාලය සම්පූර්ණයෙන්ම වනසා දමන්නයි මේ දේශද්‍රෝහීන් සැරසෙන්නේ. සහරාන්ලා මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් බව දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි අංශය බව අමතක කරන්න එපා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව මෙමගින් තවත් වහබි ත්‍රස්ත ප්‍රහාරයකට පාර කපා දෙන බව ඔබ වටහාගත යුතුයි.”

“ඒ නිසා සහරාන් එල්ල කළ ප්‍රහාරයට වඩා වැඩි ප්‍රහාරයක් මේ රටේ ‘කෝලං කාරක සභාව’ විසින් ජාතික ආරක්ෂාවට එල්ල කරනවා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව, නිලන්ත ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් ඔහු මේ ‘කෝලං කාරක සභාවට’ කැඳවන්න පෙර දිනයේ තමන්ට හිතවත් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන්න සූදානම් වෙනවා. මේක එහෙව් දේශද්‍රෝහීි ආණ්ඩුවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස