බදු පනත හකුළගන්න ඕන නෑ…! අපි උත්තර පත්‍ර බලන්න සූදානම්..! – FUTA…

April 21, 2023 at 4:31 pm | by emanisa.lk

රජය තම ඉල්ලීම් කෙරෙහි යම්කිසි හෝ නම්‍යශීලී භාවයක් දක්වන්නේ නම් හෙට (22) සිට හෝ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නහැක පවසයි.

“අධ්‍යාපන අමාත්‍යවරයා ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නම්‍යශීලීව යම්කිසි විසඳුමක් කරා පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත්වී ආචාර්යවරුන්ට තර්ජනය කිරීම අපි හෙළාදකිනවා.

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම කෙරේ අපේ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබානොදී දේශපාලන න්‍යාය පත්‍රයක් මත පමණක්ම ක්‍රියාත්මක වෙමින් මේ ආකාරයෙන් අපට තර්ජනය කිරීම සංගමයක් වශයෙන් කිසිසේත් පිළිගන්නේ නැහැ.

අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා, පුළුවන්නම් අපේ දේපළ රජයට අරගෙන අපිව සිරගත කරන්න කියලා. අපේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකොට තාවකාලික විසඳුමක් දෙනවා නම් අපි අදාළ කටයුතු සඳහා ඕනෑම වෙලාවක එක්වීමට සූදානම්.

මේ දරුවන් සමඟ අපේ කිසිදු ගැටලුවක් නෑ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම තමා අපේ අරමුණ. නමුත් ඊට අකුල් හෙළන්නේ රජයයි. මේ බදු පනත සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා අපි කියන්නේ නැහැ. සුළු වෙනස්වීම් කිහිපයක් පමණයි කරන්න කියන්නේ.

ඊට අමතරව රජයේ ආදායම් වැඩි කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග අපි පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු හෝ අවධානයක් යොමු නොකොට අපිට මේ ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත්ම පිළිගන්න බැහැ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක දී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස