දෙවි පිහිටින් ඡන්දේ කල් ගිය නිසා පක්ෂයයි රටයි දෙකම බේරුණා…! – මෛත්‍රී…

May 2, 2023 at 8:33 am | by emanisa.lk

මේ රටේ ජනතාව නොදන්නා පක්ෂයක් සමඟ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව එම පක්ෂයෙන් තරග කරන්න ගිය බවත්, දෙවියන් බැලුවාක් මෙන් මැතිවරණය කල් ගිය නිසා පක්ෂයත් රටත් බේරුණු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ආණ්ඩු කළ මහා යෝධ පක්ෂයක්. බණ්ඩාරනායක මැතිතුමා හා මැතිනියගේ නායකත්වය යටතේ ලෝකය දිනා ගත් පක්ෂයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව දන්නේ නැති පක්ෂයක් එක්ක ගිවිසුම් ගහලා ඒ ලකුණෙන් තරග කරන්න අපි ගියා.

මේ රටේ ජනතාවගේ වාසනාවට වගේම පක්ෂයේ වාසනාවට ඡන්දය කල් ගොස් ඡන්දය පවත්වන්නේ නැති තැනට වැටුණා. අපි දිහා දෙවියන් වහන්සේ බැලුවා කියලා මම හිතන්නේ. ඒකෙන් අපත්, පක්ෂයත්, රටත් බේරුණා. අනාගතයේදී මේ රටේ ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි නායකත්වය ගෙන කටයුතු කරන්නේ.

2019න් පසු 2020 සහ 2021 කාල සීමා ගත් විට ඒ අවුරුදු දෙකේදී තමයි මේ රට දරුණුම විදිහට විනාශයට ලක් වුණේ. මෙතැන ඉන්න බහුතරයක් ජනතාව 69 ලක්ෂයේ ඡන්ද පදනම නියෝජනය කරන අය. එම කාලයේ රට කරගත නොහැකිව දූෂණය සහ වංචාව ඉහළ ගිහින්, ජාත්‍යන්තර සම්බන්ධතා කඩා වැටී රට බරපතළ අර්බුද රැසකට මුහුණ දුන්නා. මම 2015 සිට 2019 දක්වා පාලනය කරද්දී ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගනිමින් රට සමෘද්ධිමත් තත්ත්වයට ගෙන ගිය බව කවුරුත් දන්නවා.

අද ඉන්න ආර්ථික විශේෂඥයන් මට කියනවා, ඒ අය සැලසුම් කරන්නේ 2018 තිබූ ආර්ථික තත්ත්වයට රට ගෙන යෑමට කියලා. ලෝකයේ මහා බලවත් රටවලට ප්‍රහාර එල්ල කළ ආකාරයට අයි.එස්. සංවිධානය අපේ රටටත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළා. අමෙරිකාවේ 50,000ක් එකතැන මිය ගියා. අපේ රටේ 266ක් මිය ගියා. තවත් පිරිසක් ආබාධිත වුණා. ත්‍රස්තවාදීන් කළ දේට අද මේ රටේ එක් පැත්තකින් ආගමික වශයෙනුත්, අනෙක් පැත්තෙන් දේශපාලනික කුමන්ත්‍රණකාරිනුත් එකතු වෙලා සිංහල බෞද්ධයකු වන මාව එල්ලුම් ගස් යවන්න උත්සාහ කරනවා.

ඒ සඳහා කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් අද හිරගෙවල්වල ඉන්නවා. ඒ අයගේ නඩු විභාග හරියට කෙරෙන්නේ නෑ. අපි සියලු දෙනා එකතු වෙලා මේ තිබෙන සමාජ, ආර්ථික සහ දේශපාලනික බලවේග නිවැරැදිව හඳුනාගෙන යහපත් රටක් හදන්න කැප වෙන්න ඕනෙ.
කවුරු කතා කළත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයකුට ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව ආණ්ඩු හදන්න බෑ කියන කාරණය මම කියනවා. ඒ මට්ටමට ශ්‍රීලනිපය ගොඩනැඟිලා අවසානයි. රතු මහත්වරුන් හරියට කයිවාරු ගහනවා, පැය 24න් මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා. අපි ඒ අයට කියන්න ඕනෙ කවුරු ඊළඟට ආණ්ඩුවක් හැදුවත් එහිදී නායකත්වය ගන්නේ අපියි කියන කාරණය. ශ්‍රීලනිපය මූලිකව ඒකරාශී කර ගත් සන්ධානයකින් තමයි ආණ්ඩුව පිහිටුවන්නේ.

තමුන්නාන්සේලා ඡන්දයක් දෙන විට කල්පනා කර බලන්න හොරා කවුද හොරා නොවන්නේ කවුද කියලා. ඡන්දදායකයන් දන්නවා, දේශපාලනයේ ඉන්න හොරු කවුද නැත්තේ කවුද කියලා. මේ රට ගොඩනඟන්න තිබෙන එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි. මීට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක එකාගේ පස්සේ යන්නේ නෑ. ඕන කෙනෙක් අවශ්‍ය නම් අපත් එක්ක සන්ධාන ගහන්න ඕනෙ. ගිවිසුම් ගහන්න ඕනෙ.”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‘නිවහල් වෙමු – සවිමත් වෙමු’ මැයෙන් ඊයේ (01) මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියේදී අදහස් දක්වමිනි‍.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස