තවත් වනාන්තර අක්කර 8500ක් වනසන්න සූදානම්! පරිසර ඇමති ජනපති ආශීර්වාදයත් ලැබෙයි!

January 16, 2019 at 4:32 pm | by admin

මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වන්නතර ජලය හා සම්බන්ධ කන්දකාඩුව සහ ත්‍රිකෝණ මඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ව පාලන ව්‍යාපෘති සඳහා මහා පරිමාණ සමාගම්වලට ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනාවරණ කරයි.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශ්‍රිතව පිහිටි විල්ලු හා ජල පෝෂක වනාන්තර සමාගම්වලට ලබා දීමට සැලසුම් කර ඇති බවයි එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

300කට අධික අලි ගහණයක් සිටින එම ප්‍රදේශය එලෙස විනාශ වුවහොත් දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල පවතින අලි – මිනිස් ගැටුම උග්‍ර අතට පත්වන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වාදෙයි.

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ කන්දකාඩුව හා ත්‍රිකෝණ මඩු ප්‍රදේශවල වනාන්තර සහ විල්ලු හෙක්ටයාර 3415ක භූමි ප්‍රමාණයක් කෘෂිකාර්මික සහ සත්ත්ව පාලනය ආශ්‍රිත කෘෂි ව්‍යාපාර ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට එම ඉඩම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවට පසුගිය නොවැම්බර් 21 වන දින කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ලංකාවේ වනාන්තර ආවරණය 32%ක් දක්වා වැඩි කරන බව පවසන තත්ත්වයකදී ජනාධිපතිවරයා විසින්ම වනාන්තර පද්ධතිය විනාශ කරන තත්ත්වයට පත්වීම ජනතාව මුලා කිරීමක් බව එම ව්‍යාපාරය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස