ගෝඨාභයගෙන් කෑ 69 ලක්ෂෙට අනුර ඩෙසට් දෙනවා….! බොරදියේ මාළු බාන ජවිපෙට රැවටෙන්න එපා..! – තුෂාර ඉඳුනිල්…

February 3, 2023 at 10:05 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ නායකයා වීරයාගේ සළුපිළි පොරවගෙන බොරදියේ මාළු බෑමක නිරතව සිටින බවත් ඔහුගේ සැබෑ භූමිකාව රටේ ජනතාව තේරුම් ගත යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

“මෙයට පෙර වීරයාගේ සළුපිළි හැඳි ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ජනතාවට කෑම දුන් ආකාරයෙන් අනුර දිසානායක අද ජනතාවට ඩෙසට් එක ලබා දෙමින් සිටිනවා. අද මේ රටේ මිනිසුන්ට ආර්ථික පීඩනය දරාගන්න බැරුව මැරි මැරී ඉපදෙනවා. ජල, විදුලි, සේවා ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර මිල හිතා ගන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. ඒ මදිවට ජනතාව පෙළමින් බදු ගහනවා. දැන් ආයෙත් පෙට්‍රල් මිල වැඩි කළා.

රජය මිනිස්සු නොමරා මරන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ යහමින් බොර දියේ මාළු බානවා. ගෝඨාභය රාජපක්ෂට රැවටුණු 69 ලක්ෂයට ආමන්ත්‍රණය කරමින් බොර දියේ මාළු බානවා. එදා තාප්පවල චිත්‍ර ඇන්ද තරුණ කොටස්වලට ආමන්ත්‍රණය කරමින් ජනතාව ගොනාට අන්දනවා. එදා ගෝඨාභය රාජපක්ෂ කළ දේ අද අනුර දිසානායක කරනවා.

අපි මේ රටේ ජනතාවට කියන්නේ කරුණාකරලා මේ රැල්ලට යට වෙන්න එපා. හැඟීම්වලට නොව බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සමගි ජන බලවේගය කියන්නේ බොර දියේ මාළු බාන පක්ෂයක් නෙවෙයි. නිරතුරුව ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්.

ජන වරමක් නොමැති කණ්ඩායම් දෙකක් තමයි අද මේ රට පාලනය කරන්නේ. රාජපක්ෂ කල්ලිය කිහිප දෙනෙක් සහ කිසිදු ජන වරමක් නැති රනිල් තමයි රට පාලනය කරන්නේ. ජන වරමක් නැති මේ ආණ්ඩුව වෙනුවට සැබෑ ජන මතය හෙළිදරව් කරන ජනමත විචාරණයක් වශයෙන් හෝ මේ පුංචි ඡන්දය අපිට සලකන්න පුළුවන්.

නමුත් නාන්න ඇදගෙන යන පිස්සු බල්ලෙක් වගේ තමයි ආණ්ඩුව මේ මැතිවරණය වෙත දක්කන්න වෙන්නේ. ආණ්ඩුව මැතිවරණය නවත්වන්න පුළුවන් හැම තුරුම්පුව ම ගහනවා. අපිට බලවත් සැකයක් තියෙනවා මේ මැතිවරණය කොයි මොහොතේ හෝ කල් දමයි කියලා. දැන් රනිල් මහත්තයා 13 සංශෝධනය කරළියට ගෙනැල්ලා තියෙනවා. මේ රටේ ජනතාව ඉල්ලන්නේ 13 නෙවෙයි, තුන්වේල කන්න දෙන්න කියලයි.”

මහනුවර පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය හමුවේ ඊයේ (02) හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස